ගුවන් නියමුවෝ අස් වී යති – ශ්‍රි ලංකන් තවත් අවුලක !

Sri-Lankan

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සේවයෙන් ඉවත්ව යෑම මේ දිනවල දක්නට ඇති බවත් කොවිඩ් වසංගතයෙන් පසුව ඉහළ යන සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලබා ගත හැකි ලෙස ගුවන් සේවා මෙහෙයුම් පුළුල් කිරීමේ අවශ්‍යතාව සහිත මොහොතක මෙම නික්ම යෑම් දැඩි බලපෑම් එල්ල කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රිචඩ් නුටොල් පවසයි.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී නුටල් මෙලෙස පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.

“ගුවන් සමාගමේ සේවයට එන පිරිසට වඩා යන පිරිස වැඩි වෙන්න පටන් අරගෙන. මේ අවස්ථාවේදී ඒක දැඩි කණස්සල්ලට හේතුවක්.. ගුවන් නියමුවන් කියන්නේ අද ලෝක ඉල්ලුමක් සහිත වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙලා . ලෝකයේ ගුවන් නියමුවන් වෙනුවෙන් විශාල රැකියා වෙළෙඳපොළක් තියෙනවා.. නිදහසින් පස්සේ ශ්‍රී ලංකාව මේ වෙද්දී දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පාලා ඉන්න අවස්ථාවේ බුද්ධිගලනයත් වැඩි වශයෙන් දකින්න පුළුවන්..”

ඔහු සඳහන් කරයි.


ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මානව සම්පත් වත්කම් ධාරිතාව පුළුල් කිරීමට අපේක්ෂා කළත් රජය සතු ආයතනයක් ලෙස, සමාගමට ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා සීමාවන් පනවා තිබේ.

ඒ තත්ත්වය මත ඉවත්ව යන නියමුවන් වෙනුවට වෙනත් නියමුවන් බඳවා ගැනීමේ කාර්යය තවත් අපහසු කර තිබෙන බව විධායක නිළධාරීවරයා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ආයතනයේ මූල්‍ය කාර්ය සාධනය වැඩි කිරීම සඳහා එක්සත් රාජධානිය හා ඉන්දියාව වැනි ඉහළ සංචාරක ගමනාන්ත වෙනුවෙන් ගුවන් ගමන් වැඩි කළ යුතු බවයි.

ඊට අමතරව සිංගප්පූරුව, කොරියාව හා මැලේසියාව වැනි ගමනාන්ත සඳහා ද ශ්‍රී ලංකන් ගුවන් ගමන් වැඩි කිරීමට අවධනාය යොමු කළ යුතු වුවත් දැනට සමාගම සතු ගුවන් යානා 24 ඊට ප්‍රමාණවත් නොවන බව ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවන් යානා 32ක් ආයතනයට අවශ්‍ය වුවත් ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැති බවත්, ලෝකයේ බොහොමයක් ගුවන් සමාගම් මේ වන විට, ගුවන් යානා එන්ජින් හා යානා කොටස් නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ගැටළුවලට මුහුණ පා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Exit mobile version