ගුරු වර්ජනය අවසන් ද?. අවසන් තීන්දුව වර්ජකයෝ අද කියති…

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කළ සිය වෘත්තීය අරගලය අවසන් කරන්නේද නැද්ද යන්න ගුරු වෘත්තීය සමිති අද (13) රටට ප්‍රකාශ කිරීමට නියමිතය.

ඔවුන් මෙම තීන්දුව ගෙන තිබුණේ ඊයේ පැය තුනකට අධික කාලයක්  අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා සමග කළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම, පරිසර ඇමති මහින්ද අමරවීර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත සහ මුදල් හා අධ්‍යාපන අමාත්‍යාංශවල නිලධාරීහු එක් වී සිටියහ.

වැටුප් විෂමතාව අදියර දෙකකින් ඉවත්කිරීමේ යෝජනාව අගමැතිවරයා විසින් වෘත්තීය සමිති වෙත ලබා දුන්නේය. ඊට වෘත්තිය සමිති සිය විරෝධතාවය හෝ එකඟතාවය පල කළේ නැත. සාකච්ඡාව නිමා වූයේ තීරණයක් සහිව වුවත් බලාපොරොත්තු ඇතිවන ආකාරයටය.


මේ සංවාදය වඩාත් ඵලදායී ලෙස ගෙන යෑමට අවශ්‍ය පසුබිම සැකසීමෙහි ලා අත්දැකීම් පූර්ණ වෘත්තිය සමිති නායකයෙක්වන  හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සැලකිය යුතු කාර්යයක් ඉටු කළහ. රැස්වීමට උන්වහන්සේත් සම්බන්ධ වී සිටියහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි,  ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න, ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ, ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු,  ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ වසන්තා හඳපාන්ගොඩ ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ  සාකච්ඡාවට එක් වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් අද යළි රැස් වී සාකච්ඡා කර සිය අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.

Exit mobile version