ගුරුවරුන්ට එන්නත් විද පාසල් අරින හැටි ජී.එල් කියයි..

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව ත් එහි ප්‍රථම පියවර එන්නත්කරණය බව ත්  අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් පැවසීය.  අධ්‍යාපන අමාත්‍යංශයේ දී විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පාසල් විවෘත කිරීමට පසුබිමක් ක්‍රමානුකූල ව සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාව අවසානයේ දී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේ බව කිවේය.

එන්නත්කරණය සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් පමණ අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙසේ ද කීවේය.


කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සියල්ල වසා දමන්නට අපට සිදු වී තිබෙනවා. මෙම කාලසීමාව තුළ සිසු දරුවන්ට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත්කොට තිබෙන අතර මාර්ගගත දූරස්ථ අධ්‍යාපනය අනුව අධ්‍යයන කටයුතු සිදු කරනවා. එසේ වුවත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවෙයි. ඒ සඳහා සූදානම් වීමට සෑහෙන තරම් කාලයක් අවශ්‍ය වනු ඇති. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් ගෙන තිබෙනවා.

එහි පළමු පියවර එන්නත්කරණයයි.   අධ්‍යාපන වැඩපිළිවෙළට අදාල සියලු දෙනාට එන්නත් ලබා දීම අතිශයින් වැදගත්. අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා දළ වශයෙන් එන්නත් 279,020ක් අවශ්‍යයි. එන්නත්කරණයෙන්  ගුරුවරුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය මෙන්ම දෙමාපියන් තුළ විශ්වාසය ගොඩ නැඟීම ද සිදුවෙනු වනවා. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාශයයි.    පාසල් සිසුන් සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය පිළිබඳව ද විශේෂ අවධානය යොමු ව තිබෙනවා“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙන්ම පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන  ඇතුළු පිරිසක් ද එක් වූහ.

Exit mobile version