ගුරුගොඩ ඔයේ සැකකාර  ඝාතකයා ඉහළම හමුදා ප්‍රධානියෙකුගේ ආරක්ෂක කමාන්ඩෝ සෙබලෙක්…!

පසුගියදා හොරණ ගුරුගොඩ ඔයේ යතුරු පැදියක ගැටගසා ගිල්වා මරා දමා තිබූ සඳරුවන් හල්ප ලියනගේ නැමැති කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලා ඝාතනය කිරීමට සැක පිට හමුදාවේ ඉහළම ප්‍රධානියෙකුගේ  පුද්ගලික  ආරක්ෂක අංශයේ කමාන්ඩෝ සෙබලෙක්  හා ඔහුගේ සගයෙක් වූ විශ්‍රාමික කමාන්ඩෝ සෙබලෙක් පොලිසිය විසින් අද (05) අත් අඩංගුවට ගත්තේය.

ගණේමුල්ල කමාන්ඩෝ කඳවුරේ සිට රාජකාරි වෙලාවේ  රාත්‍රියේ දී යතුරු පැදයකින් සිය සගයාත් සමග පැමිණ මෙම  ඝාතනය සිදුකර මළ සිරුර යතුරු පැදියෙහි ගැට ගසා ගුරුගොඩ ඔයේ ගිල්වා දමා ඝාතකයා යළි රාජකාරියට වාර්තා කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි දරවු වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.


හොරණ ගුරුගොඩ දඹර ප්‍රදේශයේ මෑවක් ඔයේ තිබී යතුරුපැදියක ගැටගැසූ පුද්ගල සිරුරක ඇටසැකිල්ලක් පසුගිය (11) සවස හමුවූයේය. කේබල් කම්බියකින් මල සිරුරේ පාද යතුරුපැදියේ ගැටගසා  යතුරු පැදිය සමග   දියේ ගිල්වා තිබිණි.

ඔයේ ජල මට්ටම ඉහළ ගිය වකවානුවේ    රොන්මඩ අතර ඇති යතුරු පැදිය   දුටු පුද්ගලයෙක් ඒ ගැන සොයා බලන විට දියවී ඇටසැකිල්ල පමණක් ඉතිරිව තිබූ සිරුර හා යතුරුපැදිය හමු වූයේය. පොලිස් පරීක්ෂණ ආරම්භ වූයේ එතැන් සිටය.

පරීක්ෂණ ආරම්භය

යතුරුපැදියේ අංක තහඩුවක් නොතිබිණි. චැසි අංකය ඔස්සේ පරීක්ෂණය කරන විට එය පොලොන්නරුවේ පුද්ගලයෙක් සතුව තිබූ එකක් බවත් පසුව එය විකුණා ඇති බවත් හෙළි විය. අනතුරුව පොලිසිය චැසි අංකය ඔස්සේ  රක්ෂණ සමාගම් පරීක්ෂා කළේය. ඒ ඔස්සේ යතුරුපැදිය මිලදී ගත් අයගේ නම සහ ලිපිනය පොලිසිය සොයා ගත්තේය.

ඒ තොරතුරු ඔස්සේ  යතුරුපැදිය හිමිකරුගේ නිවසට ගිය විට ඔහුගේ බිරිය කීවේ තම සැමිය හොරණ ප්‍රදේශයේ යහළුවෙකුගේ නිවසට යන බව කියා මින් මසකට පෙර පිටත් වූ නමුත් මේ වනතුරු නැවත පැමිණියේ නැති බවය.

ඒ සම්බන්ධව වැල්ලම්පිටිය පොලිසියට අවස්ථා කීපයක දී පැමිණිලි කරන්නට ගියත් පොලිසිය පැමිණිල්ල ලියාගෙන තිබුණේ නැත.

ඝාතකයන් හඹා යෑම

කොහිලවත්ත හල්ප ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සඳරුවන් හල්ප ලියනගේ නැමැති මෙම පුද්ගලයාගේ ඝාතකයන් ගැන පොලිසිය  වැඩිදුර තොරතුරු විමර්ශනය ආරම්භ කළේය.

මේ තැනැත්තා කමාන්ඩෝ බලකායෙන් ඉවත් වූ පසු මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් තිබුණු අතර වැඩිදුර විමර්ශනවලදී දැනගන්නට ලැබුණේ ඔහු පාතාල කුලී ඝාතකයෙක් ලෙසත් යම් යම් අවස්ථාවල කටයුතු කර ඇති බවය.

මේ තැනැත්තා යම් අපරාධකටයුත්තකට සම්බන්ධ වූ විට දින ගණනක් හොරණ පිහිටි සිය මිත්‍ර කමාන්ඩෝ බලකායේ සෙබලෙකුගේ නිවසක නැවතී සිටියේය.  මෙම  නිවසට යාබදව වෙනම කොටසක් තිබුණු අතර මෙම පුද්ගලයා දින ගණන් මේ ස්ථානයේ රැඳී සිටිය බව විමරශනවලදී  දැනගන්නට ලැබිණි.

යතුරුපැදිය හමු වූ අයුරු…

සිද්ධිය වූ පසුගිය 11දාත්   මරණ තර්ජනයක් බව කියමින් මෙම පුද්ගලයා හොරණ පිහිටි සිය කමාන්ඩෝ මිතුරාගේ නිවසට ගොස් තිබිණි.  සිද්ධිය සම්බන්ධව විද්‍යාත්මක පරීක්ෂණ හා දුරකථන ජාල පරීක්ෂණ හරහා ඒ බව තහවුරු කරගත් පොලිස් විමර්ශන කණ්ඩායම් හෙළි කරගත්තේ සඳරුවන් නැමැත්තා විටින් විට සැඟව සිටිනා නිවස අයත් වන්නේ    ලංකාවේ ඉහළම හමුදා ප්‍රධානියෙකුගේ පුද්ගලික ආරක්ෂක සෙබල මුළුවේ සේවය කරන කමාන්ඩෝ භටයෙකුට බවය.

කමාන්ඩෝ සෙබලා අත්අඩංගුවට ගැනීම

සිද්ධිය සම්බන්ධ පූර්ණ විමර්ශනකින් අනතුරුව මෙම සෙබලා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. එහිදී හෙළිදරවු වන්නේ මෙම සෙබලාගේ බිරියට සඳරුවන් නැමැත්තා අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට යෝජනා කර ඇති බවය. බිරිය ඒ ගැන සෙබලාට කියා තිබිණි. තමන්ගේ නිවසේ ජීවිත ආරක්ෂාවට රැඳෙමින් සිටි තමන්ගේ මිතුරා තම බිරියට මේ කළ අයුතු යෝජනාව සම්බන්ධව කමාන්ඩෝ සෙබලා සිට ඇත්තේ පිළි ගැනීමේ අවස්ථාවක් සොයමිනි.

මිය ගිය සඳරුවන් නැමැත්තා සිය මිත්‍ර කමාන්ඩෝ සෙබලාගේ  නිවසට පැමිණෙන්ට විමසන්නේ  මේ අතරය. ඒ වනවිට මෙම කමාන්ඩෝ සෙබලා සිටින්නේ ගණේමුල්ල කමාන්ඩෝ කඳවුරේ රාජකාරි කරමිනි. සඳරුවන්ට  නිවසට පැමිණෙන ලෙස කියන ඔහු  රාජකාරි වෙලාවේදීම යතුරුපැදිය නැගී    සේදවත්ත ප්‍රදේශයේ සිටින  හමුදාව හැර ගිය මිතුරෙකු ද සමග   නිවසට පැමිණ ඇත. එන අතර තුර බියර් කෑන් 04ක් ද රැගෙන නිවසට ගිය මේ දෙදෙනා නිවසට පැමිණ සිටි සඳරුවන් නැමති පුද්ගලයා සමග එක්ව එය පානය කර ඔහුව නිවසට යාබද කාමරයට රැගෙන ගොස් මැරෙන තුරු පහර දී ඇතැයි හෙළි වී තිබේ.

එසේ පහර දී සඳරුවන් නැමැත්තා මරා දැමූ පසු මෙම කමාන්ඩෝ සෙබලා සහ මිතුරා යතුරුපැදියේම මිනිය බැඳගෙන එය පදවාගෙන ගොස් ගුරුගොඩ ඔයට අතහැර යළිත් රාත්‍රියේම යතුරුපැදියෙන් පැමිණ සේවයට වාර්තා කර තිබේ.

පොලිසිය විසින් සේදවත්ත ප්‍රදේශයේ ජීවත්වන, මෙම ඝාතනයට සම්බන්ධ වූ  හමුදා සෙබලාගේ මිත්‍රයා ද  අද අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් අද අත් අඩංගුවට ගත් සෙබලා අත් අඩංගුවට ගැනීමට දින 03කට පෙර ප්‍රධානතම හමුදා නිලධාරියා විසින් සිය පුද්ගලික ආරක්ෂක ඛණ්ඩයෙන් ඉවත් කර කඳවුරට යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි..

 

 

 

 

 

 

 

 

Exit mobile version