ගිලා බැස්ස ලෙව්කේ ගෙදර ආයතන ගණනකට තරු පෙන්වන ලකුණු

අනුමැතිය දුන් රාජ්‍ය ආයතන ගණනාවක ක්‍රියා කළාපය ගැන ප්‍රශ්න මතු වෙලා

කඩා වැටුණු තට්ටු ගොඩනැගිල්ල සඳහා මහනුවර මහ නගර සභාව මගින් 2016 වසරේ අනුකූලතා සහතිය නිකුත් කිරීමෙන් පසු එහි හිමිකරු එයට තවත් අමතර තට්ටුවක් එක්කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී  ඇතැයි   මධයම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ පවසයි.

තට්ටු දෙකක ගොඩනැගිලක් සඳහා  2006 වසරේ දී  මෙම ඉදිකිරීමට  මූලික සැළසුම    ඉදිරිපත්  කර ඇති බවත් එම අවස්ථාවේ බිම් කැබලි සැළස්ම නගර සභාව මගින් අනුමතකර තිබෙන්නේ මාර්ගයේ සිට මීටර 08 ක රක්ෂිත කොටසක් තැබිය යුතු බවට කොන්දේසියක් මත බවත්  ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය.

ඉන් පසුව 2010 දී තට්ටු තුනක් සඳහාද 2014 දී තට්ටු හතරක් සඳහාද   ගොඩනැගිල්ලේ හිමිකරු   සැළසුම් ඉදිරිපත්කර තිබෙන අතර ඒ සියල්ලම නගර සභාව මගින් අනුමත කර තිබීම ගැටලු සහගත තත්වයක් බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරයා පවසන්නේ මේ පවතින තත්වය මත එය ඉදිකිරීමට  අවසර දී ඇති සියලුම ආයතන බරපතල ගැටලු රැසකට මුහුණ දීමට නියමිතය බවය.


මහනුවර මහ නගර සභාව මගින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළව අනුමත කළ සැළසුම් තුනම වරලත් ඉංජිනේරුවරයෙකු විසින් අනුමතකර තිබේ. අනුකූලතා සහතිය නිකුත් කිරීමට යන නිලධාරීන් එහි මතුපිට පෙනුම සැළසුමට අනුකූල නිසා අදාළ සහතිකය නිකුත්කර තිබේ.  ගොඩනැගිල්ලට ඉදිකිරීමට යොදාගත් අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය සොයා බැලීමට තාක්ෂණ නිලධාරීන්ට අවකාශයක් නොමැති නිසා ඔවුන් අදාළ සහතිකය නිකුත්කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සමස්ථයම අවුල් සහගත බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරයා මේ වනවිට  මුල් තට්ටු දෙක ඉදිකිරීම සඳහා අවසර ලබාගත් අවස්ථාවේ අනාගත ඉදිකිරීම් සඳහා ගැලපෙන පරිදි අත්තිවාරම  සකස් කර තිබුණේ ද නැද්ද යන්න සොයා බැලීමට වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන බව ද ඔහු පැවසුවේය.

 

 

 

Exit mobile version