සමාජ මාධ්‍ය කැළඹූ ගිරිඋල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇමති සුදර්ශිනීගේ නිරීක්ෂණයට

mass

වර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග මෙරට කොවිඩ් ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිළීබදව වැරදි අදහසක් සමාජගතවීම පිළිබදව අවධානය යොමුකළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම සිදුවීම වාර්තා වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට අද (29) කටයුතු කළාය.

ගිරිඋල්ල මාස් ෆැබ්රික් පාර්ක් කර්මාන්ත ශාලාව තුළ පවත්වාගෙන යනු ලබන මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එක් කොටසක එම සිදුවීම සිදුවී ඇති අයුරු සහ එය යථාතත්වයට පත්කරන ආකාරය නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරිය, එම මධ්‍යස්ථානය අධික්ෂණය කෙරෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ප්‍රභාත් වීරවත්ත මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග එහි පවතින සෙසු අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබදව සාකච්ඡා කරන ලදි.

මාස 08ක කාලයක් තිස්සේ කිසිදු අඩුපාඩුවක් නොවී කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කළ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය දැඩි වර්ෂාව හේතුවෙන් එහි එක් කොටසක සිදුවූ එම සිදුවීම සමාජ මාධ්‍ය තුළ එය ඉතා විශාල සිද්ධියක් ලෙස හුවා දක්වමින් විවේඡනයකට ලක්කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරිය, මෙහි සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත්, මෙම ආයතනය ලබාදී එහි නඩත්තු කටයුතු කරන මාස් ආයතනයත් කොවිඩ් මර්දනය වෙනුවෙන් සිදුකරන කාර්ය භාරය පිළිබදව සිය කෘතඥතාව පල කළාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇදන් 400ක ධාරිතාවකින් යුක්ත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ දැනට ආසාදිතයින් 329 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර දෛනිකව 60කට ආසන්න පිරිසක් සුවය ලබා පිටවෙති.

Exit mobile version