“ගිනිගත් රටේ දිය කෙළි කෙළින නාමල්ට“ ආදර්ශ සහ කැප කිරිම්  ගැන ශ්‍රී.ල.නි.ප.ය  දුන් උපදෙස…

ඔබ ඔබේ අධි සුඛෝපභෝගී ජීවිතයේ වියදම ශතයක් අඩු කර නෑ... ඉල්ලා අස්විය යුත්තේ ඔබ වැනි අයයි!

අද රට පත්ව තිබෙන තත්වය හමුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස් වී   රටට ආදර්ශයක්  දිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නොව රාජපක්ෂ පවුලේ අය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු ආණ්ඩුවෙන් ඉල්ලා අස් වී රටට ආදර්ශයක් ලබා දිය යුතු බවට නාමල් රාජපක්ෂ කර ඇති ප්‍රකාශය සම්බන්ධව  එම පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි ලංකාසර කළ විමසුමක දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් කියා සිටියේ  මෙවැනි විනාශයක් රටට සිදුකළේ තම පක්ෂය නොව රාජපක්ෂලා බැවින් ඉල්ලා අස්විය යුත්තේ ඔවුන් බවය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් කළ විමසුමක දී ඔහු කීවේ රට ගිනිගෙන තිබෙන මොහොතක විදේශයන්ට ගොස් ජල ක්‍රීඩාවේ යෙදෙන  නාමල් රාජපක්ෂ තම පක්ෂයේ ඇමතිවරුන්ට ඉල්ලා අස් වී ආදර්ශයක්  ලබා දෙන්නැයි කළ ප්‍රකාශය විහිලු සහගත එකක් බවය.

මහාචාර්යවරයා  වැඩිදුරටත් කීවේ  රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත් වී ජනතාව අන්ත අසරණව සිටින මේ වැනි ඛේදනීය තත්වයක දී රට රටවලට ගොස් ජල ක්‍රීඩා කරන නාමල් රාජපක්ෂ වැනි අය මුලින්ම ඉල්ලා අස් වීම රටට වැදගත් බවය.


නාමල්  රාජපක්ෂ වැනි  අය කැප කිරීම් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ රටෙන් ඉල්ලා සිටින්නේ  තවමත් පෙට්‍රල් ලීටරයකට කිලෝ මීටර පහක් හයක් හෝ ධාවන කළ නොහැකි අධි සුඛෝපභෝගී  වාහන පමණක් පාවිච්චි කරමින්  සකල විධ සැප සම්පත් සහිතව ගෙවන කුමාර  ජීවිතයේ  වියදම ශතයකින්වත් අඩු කර නැති වටපිටාවක බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් රට  ගොඩගැනීමට විධිමත් සැලසුමක් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම වුවත් මේ ආණ්ඩුවේ  කැබිනට් මණ්ඩල රැස්වීම්වල දී එවැනි සැලැස්මක් හෝ අභියෝග ජයගත හැකි ක්‍රමවේදයක්   සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ කිසිම සාකච්ඡාවක් පවත්වා නැති  බවද ඔහු කීවේය.

 

 

Exit mobile version