ගිනිකොනදිග මුහුදේ සිරවූ ක්ලින්කර් ගෙනා නැව මුදාගැනීමේ මෙහෙයුම් හෙට උදෑසන සිට

ගිණිකොණ මුහුදේ කුඩා රාවණා කොරල් බාධකය ආසන්නයේදී යාන්ත්‍රික දෝෂයකට ලක් වූ MV Eurosun භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමේ කටයුතු රෑ බෝවීම නිසා නැවැත්ව්වූ බවත් එය හෙට උදෑසන සිට යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය නෞකාධිපති කපිතාන් ශ්‍රියන්ත අරම්පත් ලංකාසර ට පැවසීය.

ලයිබීරියානු ධජය යටතේ ධාවනය වන මෙම නෞකාව ඕමානයේ සිට අබුඩාබි හරහා ත්‍රිකුණාමල වරායට පැමිණෙමින් සිටියදී මෙසේ යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඇත.

සිමෙන්ති නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන ක්ලින්කර් තොගයක් රැගෙන පැමිණි මෙම නෞකාව වරින් වර ශ්‍රි ලංකාවට සේන්දු වන යාත්‍රාවකි. එම යාත්‍රාව මුදා ගැනීම සඳහා හම්බන්තොට වරායේ සිට නාවික හමුදා යාත්‍රා දෙකක් අද සවස් භාගයේ ගිය අතර රෑ බෝවීම හේතුවෙන් නෞකාව අනතුරු අවම වන ලෙස මුදා ගැනීමට අදාළ තත්ත්ව නිසි ලෙස තහවුරු කර ගැනීමට බාධා එල්ල වී ඇත.


මේ අනුව හෙට උදෑසන යළි නෞකාව ආරක්ෂිත ලෙස මුදාගෙන ත්‍රිකුණාමල වරාය වෙත ගෙන ඒමට නියමිතය.
කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්න යාල වෙරළේ සිට කිලෝ මීටර 13ක් පමණ ඈතින් මෙම නෞකාව රැඳී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙම නැව මුදා ගැනීමට නාවික හමුදා යාත්‍රා දෙකක් සමග කිමිදුම් කණ්ඩායම් දෙකක් එම නෞකාව නැවතී තිබෙන ප්‍රදේශයට අද සවස ගියා. නමුත් මෙම නෞකාව නතර වී තිබෙන්නේ ගල් සහ වැලි පරයක් අසල. නෞකාව ආපසු ඇදීමේදි එහි ඉන්ධන ටැංකිවලට හානියක් නොවන පරිදි ගත යුතුයි.එය මූලිකවම සලකා බැලිය යුතු තත්ත්වයක්. ඊට පෙර නෞකාව පතුලට ආසන්න මුහුදේ තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ගත යුතුයි. ඒ සඳහා අද දිනයේ සවස් වනවිට ප්‍රමාණවත් කාලයක් ඉතිරි වුණේ නැහැ. අප බලාපොරාත්තු වන්නේ හෙට උදෑසන සිට මෙම මෙහෙයුම් යළි ආරම්භ කොට නෞකාව ආරක්ෂිත ලෙස ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒම“ යයි කපිතාන් අරම්පත් එහිදී තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version