සූරියවැව නුවන් ජයසේකර –
-
වහාම ඔවුන් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඥාතීන් කළ විරෝධතාවය නවතයි…නාවික හමුදාව බෝට්ටුව සොයා යන්න හදයි!
ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ විදේශීය මත් පැන් බෝතලයක් අහුලාගෙන පානය කළ බහු දින ධිවර යාත්‍රාවක ස්කිපර්වරයා මියගොස් අනෙක් ධීවරයින් 5 දෙනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වී බහුදින ධීවර යාත්‍රාව පාලනයෙන් ගිලිහී ඇති බව තංගල්ල පොලිසිය පවසයි.
එම ධීවරයින් හැකි ඉක්මනින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස එම ධීවර කාර්මිකයින්ගේ ඥාතීන් විසින් අද උදේ ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට අවසන් කර ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
වාර්තාවන සිද්ධිය මෙසේය.
IMUL 0909 TLE දරණ “ඩෙවෝන් පුතා 05” බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 06 දෙනෙකුගේ කණ්ඩායමක් සහිතව 2024.06.04 දින තංගල්ල ධීවර වරායෙන් පිටත් වී ගොස් තිබේ.
ධීවර කටයුතු සඳහා ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබියදි ඔවුන්ට විදෙස් මත්පැන් බෝතලයක් හමු වී ඇත. පිරිස එක්ව එම මත්පැන් පානය කර තිබේ. එහෙත් සිදුවන්නේ නොසිතූ දෙයකි. එම මත් පැන් විෂ වී යාත්‍රාවේ ස්කීපර් වරයා මියගොස් යාත්‍රාවේ ගමන්ගත් අනෙකුත් ධීවරයින් 05 අසාධ්‍ය තත්වයේට පත් වී තිබේ.
මියගොස් ඇත්තේ එම්. ජේ. නයනකාන්ත (අවු 42) නැමැති බෝට්ටුවේ ස්කිපර්වරයා ය. එම ධීවර යාත්‍රාවේ ගමන් ගත් එම්.ටී. සුජිත් සංජීව (32), පී.ඩී. ජයසූරිය (23) ටී.බී සුජිත් කුමාර (43), ආර්.බී.ජී ප්‍රදීප් නිශාන්ත (34), ජී.එම්. අජිත් කුමාර (56), යන ධීවර කාර්මිකයින් අසධ්‍ය තත්ත්වයේ පසුවෙමින් ඇත.
ඒ බව දැනුවත් වීමෙන් පසු එම ඥාතීන් විසින් ධීවර පිරිස කඩිනමින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස බලකරමින් කතරගම කොළඹ ප්‍රධාන මාර්ගය තංගල්ල “බේ” හෝටලය අසලින් ඔරුවක් දමා අවහිර කර විරෝධතාවයක් ආරම්භ කර තිබිණි.
නාවික හමුදාව මගින් එම ධීවරයින් කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට පොලිසිය විසින් ඥාතින් දැනුවත් කිරීමෙන් පසු සවස 4ට පමණ එම විරෝධතාවය අවසන් කර තිබේ.