ගාල්ල බන්ධනාගාර කොවිඩ් පොකුරට මුල් වූ නියාමකවරිය උත්සව වැලකට එක් වෙලා… 

හාමුදුරුවරු 03නමක් සමග 50 දෙනෙක් නිරෝධායනයට...

ලලිත් චාමින්ද –

ගාල්ල බන්ධනාගාරයේ කොවිඩ් පොකුරට මුල වූ  කොවිඩ් ආසාදිත  බන්ධනාගාරයේ නියාමකවරියක් මාපලගම පරණතානායම්ගොඩ  සිය  අසල්වැසි නිවසක පැවති  උපන්දින සාදයකට  හා වැඩිහිටියන් සඳහා පැවති දානමය පිංකමකට සහභාගිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

මෙකි උපන්දින සාදය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට   සුදුසුකම් ලැබු සිසු සිසුවියන් පිරිසක්  ද  සහභාගි වී ඇති බව ඔහු පවසයි.  කොවිඩ් ආසාදිත බන්ධනාගාර නියාමකවරියට ද කේක් කවා ඇති අතර එකම කේක්  කැල්ල කිහිප දෙනෙකුට කවා ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.  දානමය පිංකම සදහා වැඩිහිටියන් 41 දෙනෙකු සහභාගීවී ඇති බවද හෙතෙම පවසයි.


මෙම තත්වය නිසා  මෙකී බන්ධනාගාර නියාමකවරියගේ පළමුපෙළ ආශ්‍රිතයින් 53  දෙනෙකු  නිරෝධායනය කිරිමට කටයුතු  කර ඇති බවද හෙතෙම පවසයි.     ජනවාරි 01 වැනිදින මෙම බන්ධනාගාර නියාමකවරිය විසින්  උඩුගම මුලන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුවන් සඳහා දානය රැගෙන ගොස් ඇත. ඒ නිසා එම විහාරස්ථානයේ හිමිවරුන්  තිදෙනෙකු ද නිරෝධායනය කිරිමට කටයුතු කර ඇත.

කොවිඩ් වසංගතය පවතින මෙම කාලයේ දී මෙම නිවසේ  වැඩිහිටියන් සඳහා දානමට පිංකම හා උපන්දින සාදය පවත්වා ඇත්තේ  උඩුගම සෞඛ්‍ය වෛද්‍යකාර්යාලයට ද නොදන්වා හොර රහසේ බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සඳහන් කළ බවද  ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කියයි. 

විහාරස්ථානයේ හිමිවරුන් හා උපන්දින  සාදයට හා දානමය පිංකමට සහභාගිවු වැඩිහිටියන්  අද  (08) දින පී.සි ආර් පරික්ෂණ වලට ලක්කරන බවද  ඔහු කියයි.  බන්ධනාගාර නියාමකවරියගේ ආශ්‍රිතයින්  මෙම මස 18 වැනිදින දක්වා නිරෝධායනය කරන බවත් ඒ අයගේ  දෙවැනි පි.සි ආර් පරික්ෂණය 16 හා 17 දිනවල සිදුකරන බවත් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම බන්ධනාගාර නියාමකවරියට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ කෙසේද යන්න පිළිබද සොයා බලමින්  සිටින බව ද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

Exit mobile version