කොළඹ ලොක්ඩවුන් ජනතාව වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක්

කොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් හෙට සිට (20) විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (19) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි.

“ඊයේ දිනයේ දී කොවිඩ් රෝගීන් 325 ක් වාර්තා වුනා. ඉන් බහුතරයක් වාර්තා වුනේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්. රෝගීන් 385 ක් රෝගය සුව වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ දිනය තුල පිටව ගොස් තිබෙනවා. එමෙන්ම මරණ 03 ක් වාර්තා වී තිබෙනවා.”


“කොළඹ මහනගර සභා සීමාව තුල හුදෙකලා කර ඇති ප්‍රදේශ තුලින් වැඩිපුරම රෝගීන් වාර්තා වී තිබෙන බැවින් එම හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගීන් සිටිනවා නම්, ඔවුන්ට රෝහලකට ඒ්මට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එම අවශ්‍යතාවය සදහා මීතොටමුල්ල විද්‍යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක ගිලන් රථ ඒ්කකයක් ස්ථාපිත කොට තිබෙනවා.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ යටතේ කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව එය ක්‍රියාත්මක වනවා. එහි දුරකථන අංකය 011- 3422558 යි. කිසියම් රෝගියෙකුට 1990 ගිලන් රථ සේවාව ලබාගැනීමට අපහසු නම් මෙම සේවාව භාවිත කර කඩිනමින් රෝහලක් වෙත පැමිණිය හැකියි. කිසිම රෝහලකට පැමිණීමට බිය විය නැහැ. හුදෙකලා ප්‍රදේශවල ජනතාව මෙම සේවාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එමෙන්ම මෙම හුදකලා කර තිබෙන ප්‍රදේශ සදහා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය ද එක්ව හෙට දිනයේ (20) සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරනවා. සායන වෙත පැමිණිය නොහැකි, ඖෂධ අවශ්‍යතාවය ඇති පුද්ගලයන්ට ඒ අනුව එම සේවා ලබාගත හැකියි. අපි හෙට දිනයේ දී තීරණය කරනවා කුමන ස්ථාන වෙත ද පළමුව යන්නේ කියලා. ඒ් පිළිබදව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමා විසින් ජනතාව දැනුවත් කිරිමට පියවර ගනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔබ වෙත ලබා දී ඇති සෞඛ්‍ය පිළිවෙත් තවදුරටත් අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

Exit mobile version