කොවිඩ් පාලන ඇමතිනි සුදර්ශනීත් අනාථයි! – මාස අටක් තිස්සේ ඇමති පට්ටම විතරයි!

කොවිඩ් පාලනය කරන්න ඇමතිනියට ලැබිලා තියෙන්නෙ වැඩිහිටි ලේකම් කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව විතරයි...

Sudharshani

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත පාලන සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ එම තනතුරට පත් කොට මාස අටකට වඩා ඉකුත්ව තිබුණද පවරා ඇති විෂය පථයට අදාළ කිසිදු ආයතනයක් මේ වනතෙක් ඇය යටතට පත්කොට නොමැත.

ඒ වෙනුවට ඇයගේ විෂය පථය යටතේ ගැසට් කොට ඇත්තේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් වැඩිහිටි ලේකම් කාර්යාලයත් පමණකි.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිර්ඝ කාලයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ රාජකාරී කළ වෛද්‍යවරියකි. එම අත්දැකීම් මත අදාළ තනතුර ඇයට ගැලපෙන සේ පෙනුණද අමාත්‍යවරියට රාජකාරී කිරීම සඳහා ආයතනගත ව්‍යූහයක් හෝ බලඅධිකාරියක් නොමැතිකමින් රාජ්‍ය අමාත්‍යවරිය පමණක් නොව එහි නිලධාරීන්ද බලවත් අසීරුතාවන්ට පත්වන බව සඳහන් වේ.


සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ වැඩිහිටි ලේකම් කාර්යාලය සම්බන්ධ කටයුතු සෘජුවම අධීක්ෂණය කිරීමේ සහ ඊට අදාල රාජකාරීමය බලයක් පැවරුණද රටේ කොවිඩ් වසංගතය වැළැක්වීම සහ ඊට අදාළව නෛතික ආකාරයෙන් මැදිහත්වීමේ අධිකාරීමය බලයක් හෝ අදාළ විෂය පථය ආවරණය කෙරෙන කිසිදු ආයතනයක් ලබා නොදිමෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් සැලසී නොමැත.

අඩුම තරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකයවත් වසංගත පාලන සහ කොවිඩ් පාලනයට අදාල විෂය පථය යටතේ නොමැති අතර විද්‍යාත්මක පසුබිමක් මත අමාත්‍යංශ බෙදන බවට සඳහන් වූ රජයේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වනවිට අදාළ බලධාරීන් මහත් කලකිරීමට පත්ව ඇතැයි මෙම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය හේතුවෙන් ඇය විසින් පසුගිය කාලය තිස්සේ සිදු කරන ලද්දේ රෝහල්වලට අවශ්‍ය විවිධ අඩුපාඩුකම් සහ පහසුකම් විවිධ දානපතියන් හරහා ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය, රෝහල්වල කළමනාකරණය පිළිබඳව නිරීක්ෂණය කිරීම සහ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් කැඳවන සාකච්ඡා සඳහා සහභාගී වීම පමණක් බව පෙනී යන්නේ යයි ලංකාසරට අදහස් දැක්වූ අමාත්‍යංශ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

Exit mobile version