“කොවිඩ් පාලනය කැබිනට් මණ්ඩලය අතට ගන්න”

Ranil Wickramasinghe

අද වන විට රටේ පවතින කොවිඩ් වසංගත තත්වය මත කොවිඩ් පාලන කමිටුව අසාර්ථක වී ඇති බවට පෙනී යන බැවින් වහාම කොවිඩ් පාලනය සඳහා සම්පූර්ණ බලය කැබිනට් මණ්ඩලය අතට ගන්නා ලෙසත් හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ පිළිබඳව වහාම ක්‍රියා නොකළහොත් මෙරට තවත් ජීවිත විශාල සංඛ්‍යාවක් නැතිවීමට ඉඩ ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,


“කොවිඩ් -19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩාවැටෙනවා. කොවිඩ් -19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිඟයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩිවෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්නේ නැතිනම් අපි අමාරුවේ වැටෙනවා.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation (IHME) ආයතනයනිකුත් කළ නවතම වාර්තාවට අනුව අපේ රටත්,රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයේ උපරිමයකට එන්න පුළුවන්. ඒ වගේම දවසකට සියයකට වඩා මියයා හැකි තත්ත්වයක් ජූනි, ජූලි මාසය වෙන කොට එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ අපි ඔක්කොම එකට එකතුවෙලා ක්‍රියාකළ යුතු වෙනවා.

මේක ආණ්ඩුවේ නම බේරාගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජීවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි. කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතළකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවගේ විශ්වාසය නැති වෙලා. අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න. ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම භාර ගන්න. මේ සතියේ ම පාර්ලිමේන්තු විපක්ෂ නායකයින් සමග කථා කරන්න. එයාලගේ සහයෝගය හා අදහස් ලබා ගන්න. ඔවුනුත් ඒ අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න අවශ්‍යයි. ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න. දැන්මම ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න. එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.“

Exit mobile version