කොවිඩ් දේහයක් ආදාහනයට මහනුවර සිට මතුගමට ගෙන යයි

කොවිඩ් නිරෝධායන නීතිරීති අනුගමනය කරන ලෙස සාමාන්‍ය ජනතාවට නිතර දැනුම් දෙන සෞඛ්‍ය බළධාරින් එම නීතිරීති උල්ලංඝණය කරමින් කොවිඩ් ආසාදිත මෘතදේහයක් කිලෝමීටර් හැත්තෑ දෙකක් දුර ප්‍රවාහනය කිරීමට අවසර දුන් පුවතක් මහනුවර ජාතික රෝහලින් වාර්තා වේ.

මහනුවර ජාතික රෝහලේ සිට කොළඹ මතුගම දක්වා මෙලෙස රැගෙන යාමට අවසර ලබා දී ඇත්තේ පසුගියදා නිමාවට පත්වූ ඇසළ පෙරහර මංගල්‍යයේ නාථ දේවාල පෙරහරට සම්බන්ධවී පන්තේරු නැටුම් කණ්ඩායමේ නර්තනය දැක්වූ දහනව හැවිරිදි නර්තන ශිල්පියාගේ දේහයය.

ඔහු ඉකුත් අගෝස්තු පහළොස්වැනි දින රාත්‍රියේ පැරණි ධර්මරාජ ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටී බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේ ඉකුත් හතරවැනිදාය.


මතුගම පදිංචි එම තරුණයා මිය යන විට කොවිඩ් ආසාදිතව සිටි අතර මහනුවර සිට මතුගමට රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරන ලෙසත් ඒ සදහා මෘත දේහය කොළඹ මල් ශාලාවට භාරදෙන ලෙසත් දන්වමින් අද මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා විසින් ලිඛිත අවසරයක් ලබා දී තිබේ.

කොවිඩ් නීතිරීතිවලට පටහැනිව මෙම මළ සිරුර මහනුවර සිට සබරගමුව පළාත පසුකොට බස්නාහිර පළාතට ගෙන යාම සදහා අවසර දිම පසුපස ප්‍රබල ඇමතිවරයකු සහ නිළමේවරයකු ද සිටින බව දැනගන්නට තිබේ.

මෙම වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ඉදිරියේදි මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල මරණයට පත්වන පිටපලාත්වල කොවිඩ් ආසාදිත මලසිරුරු ඒ ඒ පදිංචි ප්‍රදේශවලට ගෙන ගොස් ආදාහනය කිරිමට අවසර ඉල්ලුවහොත් ගැටළුකාරි තත්ත්වයක් ඇතිවන්නේ නේදැයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසේකර මහතාගෙන් විමසුවෙමු.

එවිට ඔහු කියා සිටියේ, මේ වනතුරු මහනුවර ජාතික රෝහලේ සිදුවූ කොවිඩ් මරණ සියල්ලම පාහේ අවට පදිංචිකරුවන්ගේ ඒවා බවය. පිටපලාත්වල කොවිඩ් මෘත දේහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මගින් ඉල්ලා සිටියහොත් ඒවා ලබා දිය හැකි බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රකාශය පරස්පර බැවින් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පනාපිටිය මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ , කොවිඩ් නිරෝධායන නීති රීති රෙගුලාසි ප්‍රකාරව කොවිඩ් ආසාදිත මළසිරුරක් ආදාහනය කල හැක්කේ රෝහල ආසන්නයේ පවතින ආදාහනාගාරයක පමණක් බවය.

Exit mobile version