කෙරවලපිටිය කසල අංගනය කොම්පෝස්ට් නිශ්පාදන ධාරිතාව තුන් ගුණයකින් වැඩි කරයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් දිනකට කැළි කසලවලින් නිෂ්පාදනය කළ මෙට්‍රික් ටොන් 15 ක් වූ ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය, දිනකට මෙට්‍රික් ටොන් 50 ක් දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මෙසේ නිෂ්පාදනය කරනු ලබන්නේ රුපියල් මිලියන 550 ක ආයෝජන වියදමක් දරමින් අරඹනු ලැබූ කෙරවලපිටිය කසල අංගනය හෙවත් කසලවලින් නිපදවනු ලබන පස සරුකිරීමේ ජෛව ගුණැති කාබනික අමුද්‍රව්‍ය පොහොර වර්ගයයි.
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පසු 2017 වසරේ අප්‍රේල් මාසයේ අරඹන ලද කෙරවලපිටිය කසල අංගන ව්‍යාපෘතිය, තවත් රුපියල් මිලියන 850 ක් ආයොජනය කරමින් ඉදිරි කාලයේදී වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා කරයි.

රජයේ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින්, දැනටමත් රසායනික පොහොර නිෂ්පාදනයේ යෙදී සිටින කොමර්ෂල් පොහොර සමාගම ද, ජෛව කාබනික පොහොර සැකසීමේ වැඩපිළිවෙළක් අරඹා ඇත.

එම වැඩ පිළිවෙලට අනුව, කෙරවලපිටිය කසළ අංගනයෙන් ජෛව කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 4,000 ක්, කොමර්ෂල් පොහොර සමාගම ඇනවුම් කර ඇති අතර, එම ඇනවුම ලබා දීම සඳහා කෙරවලපිටිය කසළ අංගනය මේ වන විට කඩිනමින් කටයුතු කරමින් සිටි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.ප්‍රමාණයෙන් අක්කර 400 ක් වූ ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටියේ පිහිටි ඉඩමකින්, අක්කර 20 ක භූමි භාගයක මෙම කසළ අංගනය ඉදිකර තිබේ.

කොළඹ නගර සභාව ප්‍රධාන කසල සැපයුම්කරුවා ලෙස කටයුතු කරන මෙහි, සෙසු කසල සැපයුම්කරුවන් ලෙස වත්තල, ජා-ඇළ, දොම්පේ, අත්තනගල්ල යන ප්‍රාදේශීය හා නගර සභාවන් කටයුතු කරයි.

මෙයට අමතරව පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් රැසක් ද කෙරවලපිටිය කසල අංගනයට සැපයීමේ කටයුතුවල නිරතව සිටියි.

කෙරවලපිටිය කසළ ව්‍යාපෘතිය තුළ මේ වන විට සේවකයින් 70 දෙනෙකුට ආසන්න පිරිසක් සේවය කරමින් සිටිති.

Exit mobile version