කෘෂිකර්ම ලොක්කන් මගේ කාබනික වැඩේ ලොප් කළා – ජනපති මාධ්‍යයට කියයි!

තමා සද්භාවයෙන් ආරම්භ කළ කාබනික වගා ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු  බවත්,   ඉන් තමන් බලාපොරොත්තු වූ දේ කිරීමට  හැකියාව නොලැබුණු  බවත් ජනපති ගෝඨාභය රාජක්ෂ ප්‍රකාශ කළේය.  ඔහු මේ බව කීවේ ඊයේ (27)  පුවත්පත් කතුවරුන් හමුවී කළ සාකච්ඡාවේ දීය.

එහිදී කාබනික වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් සහ ජනතාව දැනුවත් නොකළ බව කී ජනාධිපතිවරයා විෂයභාර ඇමැතිවරයාට පමණක් එය තනිව කළ නොහැකි බව  පෙන්වා දුන්නේය.

කාබනික පොහොර වැඩසටහන යටතේ සියයට තිහක් කාබනික පොහොර භාවිතයෙන්ද  සියයට හැත්තෑවක් රසායනික පොහොර භාවිතයෙන් ද සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය මුලින් පැවසුවද පසුව ඒ දෙකේ මිශ්‍රණයක් ලෙස සිදු කරන්නට ඔවුන් කටයුතු කළ බවද හෙතෙම කීවේය.


රසායනික පොහොර ආනයනය තහනම් කරනු ලැබුවේ කාබනික පොහොර වැඩසටහන ආරම්භ කර වසර කට පසුව බවද ඔහු සඳහන් කළේය . චීන පොහොර නැවේ ප්‍රමිතිය සහතික කිරිමට පෙර බැංකුවේ එල් සී විවෘත කිරීම වැරදි බව ද ජනපතිවරයා  කීවේය .

තමා ජනාධිපති ධුරයට පත් වන විට වී සඳහා පැවැතුණේ රුපියල් 30 ක මිලක් බව කී ජනාධිපතිවරයා තමා එය රුපියල් 50 දක්වා වැඩි කළ බවත් ,එමගින් ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණු බවත් කීවේය. තමා විවේචනය කරන අය ගොවීන්ට ලැබුණු වාසිය ගැන කිසිවක් කථා නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය

ආර්ථික ප්‍රශ්නය සහ ඩොලර් හිඟය ඇතිවූයේ කොවිඩ් අර්බුදය හේතුවෙන් බව කී ජනාධිපතිවරයා එය තමාට පමණක් නොව ලෝකයට ද මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත තත්වයක් බව ද සඳහන් කළේය .එනිසා මේ ප්‍රශ්නය අල්ලාගෙන තමාට පමණක් දොස් කීම වැරදි බව ද රාජපක්ෂ මහතා කීවේය.

කොවිඩ් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත් ,විදේශ රැකියා වලින් ලැබුණු ආදායම අඩුවීමත්, ඩොලර් අරබුදයට බරපතළ ලෙස බලපෑ බව ඔහු ප්‍රකාශ කළේය. තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද සඳහන් කළේය .

ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඇතැම් සභාපතිවරුන් පත්කිරීම අසාර්ථක වූ අවස්ථා තිබෙන බව ද , රටේ මහාචාර්යවරුන් පත් කරපු ඇතැම් තැන් ද අසාර්ථක වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. එම තැන්වලට දේශපාලඥයන් පත්කළේ නම්, වඩාත් හොඳ බවද හෙතෙම සඳහන් කළේය

තමන්ට තවත් වසර තුනක කාලයක් තිබෙන බව කී ජනාධිපතිවරයා සැලසුමක් අනුව කටයුතු කරන බවද සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version