කූඨ ලේඛණ සකසා වාහන උකස් තබන තිප්පලක් පොලොන්නරුවෙන් අල්ලයි!

මනම්පිටිය නිමල් ජයරත්න-

ත්‍රීරෝද රථ, යතුරු පැදි ඇතුළු වාහන වලට කූට ලේඛණ සකසා ඒවා උකස් ගනිමින්,  අලෙවිකරණ  මධ්‍යස්ථානයක් වටලා එහි ප්‍රධාන සැකකරු අද (27) දහවල් අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ   විමර්ශන කාර්යාංශය පවසයි.

වැලිකන්ද ගිනිදමන ප්‍රදේශයේ නිවසක මෙම උකස් මධ්‍යස්ථානය පවත්වා ගෙනගොස් ඇති බවත්, සැකකරු වැලිකන්ද ගිනිදමන ගම්මානයේ  පදිංචි 42  වියැති පුද්ගලයෙකු බවත් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. එම්. ගයාන් බුද්ධික   අප කළ විමසීමකදී පැවසීය.

පොලොන්නරුව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඕශාන් හේවාවිතාරණගේ උපදෙස්  මත පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරි නිශාන්ත රත්නපාල  ගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇත.


ලියකියවිලි හා අයිතිකරුවන් නොමැති යතුරුපැදි හතරක් ද මෙම  උකස් මධ්‍යස්ථානයේ තිබියදී අත්අඩංගුවට ගත් බව ගයාන් බුද්ධික  අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරු සතුව ලීසිං කරන ලද වාහන වලට කූඨ ලේඛන සැකසූ  ලියකියවිලි රැසක්  තිබූ බවත්, මෙම ස්ථානයේ සොරකම් කරන ලද  යතුරු පැදි  මෙන්ම ත්‍රිරෝද රථ ඇති බවට ද සැක කරන බවත් විමර්ශනය කරන පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන  කාර්යාංශයේ නිලධාරීහු සඳහන් කළහ.

සැකකරු දිගු කලක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත්, ඔහු  වැලිකන්ද පොලිසිය හරහා 28 වෙනිදා  පොලොන්නරුව  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම්ට නියමිතය බවත් පොලිසිය      සඳහන් කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version