කුඩු මිලි ග්‍රෑම්දෙකට අඩු නම් බන්ධනාගාරය වෙනුවට පුනරුත්ථාපනයට

බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුව මත්කුඩු ලෝලීන්

මත්දුව්‍ය මිලිග්‍රෑම් දෙකකට වැඩි නොවන ප්‍රමාණයක් ළඟ තබාගෙන අත්අඩංගුවට පත් වී අධිකරණය හමුවට පමුණුවන සැකකරුවන් ඉදිරියේදී රක්ෂිත බන්ධනාගාරගත නොකොට පුනරුත්ථාපන කඳවුරු වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් එසේ ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලි ග්‍රෑම් දෙකකට වඩා අඩු ප්‍රමාණයක් ළඟ තබා ගත් පුද්ගලයන් වන බැවින් ඔවුන් හේතුවෙන් බන්ධනාගාරවල සිදුවන අධික තදබදය අවම කිරීම සඳහා මෙසේ කටයුතු යෙදෙන බව රජයේ ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

එම ආරංචි මාර්ගයට අනුව පසුගිය කාලයේ දිවයිනේ සෑම පොලිස් ස්ථානයකින්ම මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ අතර එහිදි බොහෝ විට නීතියේ රැහැනට හසුවූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව ඒවා භාවිත කරන ඇබ්බැහි වූවන්ය.


ඔවුන් අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඉතා කුඩා මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පමණක් හමුවන අතර ඔවුන් සම්බන්ධයෙන් කෙරෙන අධිකරණ කටයුතු හේතුවෙන් මෙලෙස බන්ධනාගාර තදබදයක් නිර්මාණය වී ඇත.

දැනට මෙරට පවතින බන්ධනාගාර 28ක රැඳවියන් 29000කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර එයින් 11000ක් පමණම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදි සඳහා බන්ධනාගාරගත වූවන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට සිදුවන නඩු කටයුතු ප්‍රමාදය හේතුවෙන් බන්ධනාගාරයේ සිටින සමස්ත රඳවියන්ගෙන් සියයට 50කට වඩා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවන් ඔවුන්ට ඇප ලබා දීම වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

Exit mobile version