කළුපෙ රොෂාන්ගේ නැන්දමා සහ නැගනිය කුඩු එක්ක කොටුවේ

ජයකාන්ත ලියනගේ – බළපිටිය-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරුණ උදය ශාන්ත පතිරණ නොහොත් රණාලේ සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන කලූපේ රෝෂාන් නැමැති අයගේ නැගණිය හා නැන්දණිය හෙරොයින් ග්‍රෑම් 06 ක් සමග මීටියාගොඩ පොලීසිය විසින් ඊයේ (28) හික්කඩුව, තොටගමුවේදී අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් අද (29) සවස බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ පාර, කලූපේ, හික්කඩුව ලිපිනයේ පදිංචි තුයියාදුර නෙතුෂි නෙතාෂා ද සිල්වා (20) සහ පංසලපාර, මීටියාගොඩ, හික්කඩුව ලිපිනයේ පදිංචි කලුවාහන්දි කාන්ති (61) යන දෙදෙනාය.
පළමු සැකකාරිය කලූපේ රොෂාන් නැමැති අයගේ නැගණිය වන අතර දෙවන සැකකාරිය කලූපේ රෝෂාන් නැමැති අයගේ බිරියගේ මව බව මීටියාගොඩ පොලීසිය කියයි.
මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත් වරුෂවිතානට ලැබුණ තොරතුරකට අනුව සැකකාරියන් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබි හෙරොයින් සොයා ගෙන තිබේ. මීටියාගොඩ පොලීසිය පසුව කරන ලද විමර්ශන වලදි සැකකාරියන් කලූපේ රොෂාන් නැමැති අයට ඇති සම්බන්ධයන් අනාවරණය කරගෙන ඇත.
පාතාල කල්ලි නායකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ (29) නොහොත් රණාලේ සමයං නැමැති අය 2017 පෙබරවාරි 27 දින කළුතර, එතනමඩල ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කරන ලද සිද්ධියේ සැකකරුවන් 10 දෙනාගෙන් එක් සැකකරුවෙකු ලෙස මීටියාගොඩ, කලූපේ පදිංචි දේව රොෂාන් ද සිල්වා (28) නොහොත් කලූපේ රොෂාන් නොහොත් සන්කු නැමැති අය 2017 අප්‍රේල් 25 දින පොලීසියේ අත් අඩංගුවට පත්ව තිබේ. ඒ බළපිටිය උසාවිය අසලදීය.
රණාලේ සමයං නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින දේව රොෂාන් ද සිල්වා (28) නොහොත් කලූපේ රොෂාන් නැමැති අය බන්ධනාගාරයේ සිට සිය නැන්දණිය සහ නැගණිය ලවා හෙරොයින් ජවාරම මෙහෙයවා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වි තිබේ.
දේව රොෂාන් ද සිල්වා (28) නොහොත් කලූපේ රොෂාන් නැමැති අය 2014 වර්ෂයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාලව බන්ධනාගාරගත කර සිටි අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පූජිත් වරුෂවිතානගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ඤාණදාස සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.


Exit mobile version