කංජිපානි සහ වෙලේසුදා උපවාසය අත්හරී… දුරකථන පහසුකම් එපා වෙයි.

කොස්ගොඩ තාරක පොඩි ලැසී තවමත් ආහාර වර්ජනයේ...

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණුතම ගණයේ අපරාධකරුවන් 40ක් පමණ ඊයේ ආරම්භ කළ ආහාර වර්ජනය අද වනවිට 10 දෙනකු අතහැර උදෑසන ආහාර ලබා ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක   ලංකාසරට ප්‍රකාශ කළේය. ඔවුන් බැලීමට පැමිණෙන අමුත්තන් සීමා කිරීම සහ දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් නැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙසේ ආහාර වර්ජනයකට පිවිස ඇති අතර දරුණු අපරාධකරුවන් අතුරින් කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නැමැත්තා හැර සෙසු කංජිපානි ඉම්රාන් වෙලේ සුදා ඇතුළු අපරාධකරුවන් දස දෙනකු අද උදෑසන ආහාර ලබා ගත් බව අද (11) උදෑසන අප කළ විමසීමකදී  බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

බන්ධනාගාරගත ව සිටින පාතාල සාමාජිකයන් ගණනාවක් තම ගෝලයින් යොදවා බන්ධනාගාරයේ සිට දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ආදිය සිදු කරන බව අනාවරණය වීමත් සමඟ දරුණුතම ගණයේ අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ බූස්ස බන්ධනාගාරයේ රැඳවීමට පියවර ගැනිණි.

මේ වනවිට පොලිසිය මඟින් සිදු කරන මත්ද්‍රව්‍ය වැටළීම්වලදී බූස්ස බන්ධනාගාරයේ දැනට රඳවා සිටින රැඳවියන් විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් ගණනාවක් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔවුන්ට අමුත්තන් සීමා කිරීම සහ දුරකථන ඇමතුම් ලබා ගැනීම් මාර්ග අහිමි වීම තම ජාවාරම් කටයුතු සඳහා විශාල බාධාවක් වී ඇති තත්ත්වයක් නිර්මාණය වී ඇත.


මේ තත්ත්වය තුළ තමන්ට සිරකරුවන් ලෙස තමන්ගේ සුවදුක් බැලීමට එන අමුත්තන් ට ඉඩ දීමට සහ සමීපතයින්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් ඇති කරන ලෙස ඉල්ලා ඔවුහු කිහිප වරක්ම උපවාස කළහ.

මීට කලින් සිදු කළ උපවාසයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ පොඩි ලැසී සහ කොස්ගොඩ තාරක යන රැඳවියෝ ජනාධිපතිවරයාටද තර්ජනයක් එල්ල කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද කරගෙන යනු ලැබේ.

Exit mobile version