ඖෂධ ආනයනයට ඖෂධ සැපයුම්කාර සමාගම් සඳහා බැඳුම්කර ලබා දීමට කැබිනට් අනුමැතිය…

ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 60 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන නිසා ඖෂධ ආනයනයේ දී පැන නැගී තිබෙන ගැටලු මගහරවා ගැනීම සඳහා සැපයුම්කරුවන්ට බැදුම්කර ලබා දීමට කැබිනට් එකඟතාව පලව තිබෙන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඖෂධ සැපයුම්කරුවන් ගෙන් 90 % ක් පමණ මේ සඳහා කැමැත්ත පලකර තිබෙන බැවින් ලබන කාර්තුව වනවිට මෙරට ඖෂධ හිඟය 80-90 % කින් පමණ පහළ යනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

මහනුවර දී ඊයේ (19) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආනයනය කරන ලද ඖෂධ වෙනුවෙන් මුදල් නොලැබීම නිසා සැපයුම්කරුවන් සතු ඖෂධ සැපයීමේ ශක්තිය අඩුවී තිබෙන බවත් බැදුම්කර නිකුත් කිරීමත් සමඟ එම ගැටලුව පහව යනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.


රෝගීන්ට අවශ්‍යය ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩපිළිවෙළක් ඇතැම් වෛද්‍යවරුන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේ දී අනාවරණය කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල  කීවේය.

රෝගීන්ට අවශ්‍යය ඖෂධ නිසි වේලාවට ගෙන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණ බවත් කුමන ආකාරයේ බාධා පැමිණියද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසුවේය.

ලියාපදිංචි නොවූ සමාගම් මගින් ඖෂධ ගෙන්වා තිබෙන බවට සුළු පිරිසක් හඬ නගන බවත්  ඒලෙස ගෙන්වන ලද ඖෂධ භාවිතය හේතුවෙන්  රෝගීන්ට  යම් ගැටලුවක් ඇතිවුව හොත් එහි  වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්නා බවත්  සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල කීවේය.

ජාතික  ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ ඖෂධ ගෙන ඒමේ ක්‍රියාවලිය සඳහා මාස 06 ත් 12 ත් අතර කාලයක් ගතවන බවත් යුරෝපානු සංගමය අනුමත කර තිබෙන ඇමරිකාව,ජපානය වැනි රටවල් පාවිච්චි කරන ඖෂධයක් මෙම ක්‍රියාවලියෙන් බැහැරව ගෙන ඒමෙන් කිසිදු හානියක් සිදු නොවන බවත් ඔහු පැවසුවේය.

කෙටි කාල සීමාවක් තුළ ඖෂධ මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවත් ඇතමුන් මෙය විවේචනය කරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් මිස ජනතා සුබසෙත ගැන සිතා නොවන  බවත් හෙතෙම අවධාරණය කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද සමාගම් මගින් ඖෂධ 186 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් එයින් ටෙන්ඩර් ඉදිරිපත්ව තිබුණේ ඖෂධ වර්ග තුනක් සඳහා පමණක් බවත් කී ඇමතිවරයා එවැනි තත්ත්වයක් තුළ ඉතිරි ඖෂධ ගෙන්වා ගන්නේ කෙසේද යන්න ගැටලුවක් වූ බවද ප්‍රකාශ කළේය.

ඖෂධ සමාගම්වලට රජය රුපියල් බිලියන 60 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන නිසා මේ නිසා ඖෂධ ආනයනය කිරීමට සමාගම් ඉදිරිපත් නොවන බව  කී සෞඛ්‍ය ඇමැතිවරයා අප්‍රේල් මාසය වනවිට මෙම මුදල් ගෙවා පවතින ගැටලු විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ද පැවසුවේය.

අත්‍යවශ්‍යය නොවන සැත්කම් සඳහා ලබා දී තිබෙන දින කල් දැමීම මෙයට පෙර ද රටේ සිදුව තිබෙන බවත් ඇතමුන් මෙවැන්නක් රටේ සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවට හුවා දැක්වීමට උත්සහ කරන බවත් ඇමැතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනවාරි මාසයේ මෙරට සමස්ත ආදායම රුපියල් බිලියන 145 ක් වුවත් වියදම බිලියන 380 ක් බවත් ඉන් බිලියන 82 ක් වැටුප් වලටත් තවත් බිලියන 27 ක් විශ්‍රාම වැටුප් සඳහාත් බිලියන 16 ක් සමෘද්ධි වෙනුවෙනුත් වෙන්කළ බවත් ඇමතිවරයා ඉතිරි වූ මුදලින් බිලියන 10 ක් සෞඛ්‍යයට ලබාදුන් බවද අවධාරණය කළේය

Exit mobile version