ඖෂධ අධිකාරියේ ලොක්කා වැරදි පාරෙන් යයි ! ලියාපදිංචි නැති බෙහෙත්  275ක් ගෙන්වීමට අනුමැතිය දෙයි !

 

අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 275ක් පමණ ගුණාත්මකභාවය හෝ ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂාවකින් හෝ ලියාපදිංචියකින් තොරව  මෙරට රජයේ රෝහල්වලට භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා විසින්  සිය අනුමැතිය ලබා දී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ප්‍රධානම පෙළේ විශේෂඥ වෛද්‍ය සංගම් හතරක් අනාවරණය කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් ක්‍රියාවලියට සම්බන්ධ වන නියෝජනයක් සහිත මෙම  වෛද්‍ය සංගම් පවසන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාගේ මෙම තීරණය හේතුවෙන් ගුණාත්මකභාවයෙන් හා ආරක්ෂිත බවින් තොර මෙම ඖෂධ රජයේ රෝහල්වලට හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඔසුසල්වලට පැමිණීමේ ඉඩක් නිර්මාණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය, ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සාමාන්‍යෙයන් රට තුළට ඖෂධ ගෙන්වීමේ ක්‍රියා පටිපාටියට බැහැරව රට තුළ පවතින විදේශ විනිමය හිගයට සහ ඖෂධ හිගයට මුවා වෙමින් අත්‍යවශ්‍ය නොවන ඖෂධ පවා මෙලෙස ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි කණස්සල්ල පළ කරන බවයි.


සාමාන්‍යයෙන් ඖෂධ මෙරටට ගෙන්වීමේදී එය ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ඖෂධය පිළිබඳව එහි ඇගයීම් කමිටුව මඟින් ඇගයීමක් සිදු කෙරේ. කෙසේ වුව ද, අවසාන වරට රැස් වූ, ඖෂධ තාක්ෂණික කමිටුව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය මඟින්, ඖෂධ 330කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කළ ද, ඒවා ඇගයීමට හෝ ලියාපදිංචි කිරීමට මෙතෙක්, එම කමිටුව ක්‍රියා කර නැත.

පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ ගෙන්වීමට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබූ අතර එහිදී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ ජනාධිපතිවරයා පවසා තිබුණේ මෙම ඖෂධ ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ, රටේ ඖෂධ ගෙන්වීමේ පිළිගත් ක්‍රමවේදයට යටත්ව ගෙන්වීමට පියවර ගන්නා ලෙසය.

එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යවරයා හා අමාත්‍යංශ නිළධාරින් ඉන්දීය සමාගම් දෙකකින් පමණක් මෙරට ලියාපදිංචි නොකළ හා ආරක්ෂාව තහවුරු නොකළ ඖෂධ 300කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමෙන් තොරව ගෙන්වීම සඳහා අවසර ඉල්ලා තිබුණි. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ ඉහත වෛද්‍ය සංගම්, ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කරමින්, රටේ සෞඛ්‍ය කෙරෙහි පවතින විශ්වාසය බිඳ හෙලන, එම පියවර වළක්වන ලෙස ඉල්ලා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වෛද්‍ය සංගම්, යළිත් වරක් අවධාරණය කර සිටින්නේ, පවතින තත්ත්වය තුළ ජනාධිපතිවරයා මැදිහත් වී, එම අසාධාරණ ක්‍රියාවලිය නවතන ලෙසය.

Exit mobile version