එන්නත්වල ප්‍රතිශක්තිකරණය ගැන අපේ පර්යේෂණ වාර්තාව දෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශට නොවෙයි… ජාත්‍යාන්තර පර්යේෂණ සඟරාවලට…

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර

Chandima-Jeewandara

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ලංකාවටත් පැමිණ ඇති බවට පසුගියදිනවලදී වාර්තා වූවේය. ඩෙල්ටා ප්‍රභේදය වාර්තා විමට සමගාමීව සංචරණ සීමාවන් දැඩි කරනු වෙනුවට එතෙක් රවේ පැවති සංචරණ සීමාවන්ගේ යම් යම් ලිහිල් බවක් ඇති වුනේය. මේ ලිහිල් වීමත් සමග කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ජනජීවිතටය ඇතිකළ හැකි බලපෑම් කවරේද යන්න පිලිබඳව අප ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් විමසුවෙමු. මේ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවන දැඩි අවදානමක්ව පවතින ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ලංකාවෙන් ද වාර්තා වෙනවා. එවන් පසුබිමක් තුළ රටේ පැවති දැඩි සංචරණ සීමාවන් ලිහිල් කරමින් ජනතාවට යම් නිදහසක් භුක්ති විදීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම අපට වලක්වා ගත හැකිවේවිද?

පිළිතුර – ශ්‍රි ලංකාව වැනි දුප්පත් රටකට හැමදාම සංචරණ සීමාවන් පනවා රට වසා තබන්න පුලුවන්කමක් නැහැ. මිනිසුන්ට තමන්ගේ දෛනික ආදාම් මාර්ගයන් උත්පාදනය කර ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. නමුත් එහෙම වෙනවා කියන්නේ තවත් පැත්තකින් බැලුවොත් වසංගතයට පැතිරීමට ඉඩ ලබා දෙනවා කියන එකයි. ඒ නිසා මගේ අදහන් නම් දැනට වසංගතයට තියෙන හොඳම හා එකම විකල්පය එන්නත් කරණයයි. ඒ නිසා ඔබට එන්නත ලබා ගැනීමට ලැබෙන මුල්ම අවස්ථාවේදීම එන්නත ලබාගැනීමට කටයුතු කරන්න.

ප්‍රශ්නය – ඔබ කියන්නේ ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරීමට ඇති එකම විසදුම එන්නතකරණය පමණයි කියාද?

පිළිතුර –  එංගලන්තය, ඇමරිකාව, හා ඊශ්‍රායල එන්නත්කරණය සාර්ථකව පවත්වා ගත් රටවල්. නමුත් ඔවුන්ට අදටත් ඩෙල්ටා ප්‍රභේදයෙන් යම් යම් බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා එන්නත ලබා ගත්තත් නැතත් අනිවාර්යයෙන්ම ඔබ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට මතක තබා ගත යුතුයි.


ප්‍රශ්නය – මෙරට භාවිත කරන එන්නත් වලින් ඩෙල්ටා ප්‍රභේදයටලැබෙන රැකවරණය කොපමණද?

පිළිතුර – මෙරට භාවිත කරන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවෙන් ඩෙල්ටා ප්‍රභේදය මර්දනය සඳහා ලැබෙන රැකවරණය සියය 33ක් පමණයි. මෙහි දෙවන මාත්‍රාවත් ගත්තොත් 66ක පමණ ආරක්ෂා වෙනවා.

ප්‍රශ්නය- මේ වන විට විශාල ප්‍රමාණයන්ගෙන් මෙරටට ගෙන්වන සයිනොෆාම් එන්නතින් ඩෙල්ටා ප්‍රභේදයට ලැබෙන ආරක්ෂාව කෙබදුද?‍

පිළිතුර – සයිනොෆාම් එන්නත පිලිබඳව පරික්ෂණ වාර්තාවන් අප සතුව නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල දත්ත වාර්තාවන්ට අනුව නම් සයිනොෆාම් එන්නතත් ඩෙල්ටා ප්‍රභේදයට සතුටුදායක රැකවරණයක් ලබා දෙන බවට තොරතුරු ලැබී තිබෙනවා

ප්‍රශ්නය – මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුණ පුද්ගලයින් කොයි කොයි ප්‍රදේශයන්ගෙන් වාර්තා වී තිබෙනවද?

පිළිතුර – මුලින්ම දෙමටගොඩ ප්‍රදේශයන් පුද්ගලයින් 5 දෙනෙකු හමුවුණා. ඊට පසුව කොළඹ 2,5, 9, 10, 14, සහ අංගොඩ මානසික රෝහලෙන් සහ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මේ වයිරසය ආසාදනය වුණු පුද්ගලයින් 14 හදුනා ගත්තා.

ප්‍රශ්නය – ඩෙල්ටා ප්‍ර‌භේදය කොපමණ වේගයකින් පැතිරෙනවාද?

පිළිතුර – ඇල්ෆා ප්‍රභේදයට වඩා සියයට 60ක වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමේ හැකියාව පවතින බවට දැනට වාර්තා වී තිබෙනවා. අනික් කොවිඩ් ප්‍රභේදයන්ට වඩා වේගයන් පැතිරෙන ප්‍රභේදය මෙය බව හඳුනාගෙන තිබෙනවා.

ප්‍රශ්නය – ඩෙල්ටා වයිරසය ආසාදිත වූවෙකුගෙන් නිරෝගි පුද්ගලයින් කී දෙනෙකුට එම වයිරසය ආසාදනය වීමේ හැකියාව පවතිනවාද?

පිළිතුර – එක් පුද්ගලයෙකුගෙන් අටදෙනෙකුට පමණ මෙම වයිරසය ආසාදනය කිරීමේ හැකියාව පවතින බවට සොයාගෙන තිබෙනවා.

ප්‍රශ්නය – ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථකව මුහුණ දීමට නම් තුන්වන එන්නත් මාත්‍රාවක් කරා යා යුතු බවට සඳහන් වෙනවා. ඒ අනුව අපටත් තුන්වන එන්නතක් කරා යාමට සිදුවෙයිද?

පිළිතුර – තුන්වන එන්නතක් ගැන සිතීමට පෙර දෙවන එන්නත් මාත්‍රාව ජනතාවට ලබා දිය යුතුයි‍. අනික තුන්වන එන්නත් මාත්‍රාවක් ගැන දැන්ම නිවැරදිව කියන්න පුලුවන්කමක් නැහැ. මොකද දැනට අපි භාවිත කරන සියලුම එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ චීනයේ වූහාන් නගරයේ ඇති වුණ කොවිඩ් වයිසරය පාදක කරගෙන. නමුත් ඩෙල්ටා, ඇල්ෆා වැනි ප්‍රභේදයන් මතුවුණේ ඉන් පසුවයි. ඒ නිසා දැනට දෙන එන්නත්වලින් මෙම ප්‍රභේදයන් කොපමණ දුරකට සාර්ථක වෙයිද දන්නේ නැහැ. ඒ පිලිබඳව මුළු ලෝකයම දැඩි විමසිල්ලෙන් හා පරික්ෂණවල නිරත වෙමින් සිටින්නේ.

ප්‍රශ්නය – ඩෙල්ටා සමග ඩෙල්ටා ප්ලස් ගැනත් කථා වෙනවා. අපිටත් ඩෙල්ටා ප්ලස් තර්ජනයක් වේවිද?

පිළිතුර – ඩෙල්ටා ප්ලස් ගැන කථා කරනවා වෙනුවට කොවිඩ් මර්දන එන්නත් වැඩපිළිවෙළ රට පුරා සාර්ථකව කරගෙන යාම සහ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි මේ කරුණු දෙකට අනුගතව වැඩ කළොත් කිසිවෙකුට බිය විය යුතු වන්නේ නැහැ.

ප්‍රශ්නය – ජයවර්ධනපුර් විශ්ව විද්‍යාලය මගින් පසුගිය දිනවල කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයන්ගේ වාර්තාවන් මාධ්‍යයට ප්‍රසිද්ධ කලා. නමුත් දින කීපයක් සිට සෞඛ්‍ය ලේකම්වරයා ඔබට තහංචියක් පනවා තිබෙනවා. මේ තහන්චියට අනුව කිසිම පර්යේෂණ වාර්තාවක් මාධ්‍යයට නිකුත් කිරිමට ඔබට අවසර නැහැ. ඇයි මෙහෙම තහංචියක් පැනවුවේ.

පිළිතුර – මට සෞඛ්‍ය ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහන්චියක් පැනවුවේ නැහැ. මට කිව්වේ පර්යේෂණ වාර්තාවන් මාධ්‍යයට දැනුම් දීමට පෙර එය වසංගත රෝග විද්‍යා අංශය මගින් දීර්ඝව අධීක්ෂණය කළ යුතු බැවින් වාර්තාව නිකුත් වූ වහාම සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙන්න කියලා. ඔවුන්ගේ ඉල්ලීම මා ඉටුකලා.

ප්‍රශ්නය – කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන් සිදුකරනවා . මේ පර්යේෂණ වාර්තාත් සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයට නිකුත් කිරිමට වලකාලයිද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර – කොවිඩ් එන්නත්වලින් ප්‍රතිශක්තිය කොපමණ ප්‍රමාණයන්ගෙන් නිපදවෙනවාද කියලා අපි පර්යේෂණයන් සිදුකරනවා. මේ වන විට ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, හා සයිනෝෆාම් එන්නත් පර්යේෂණය කරමින් සිටිනවා. නමුත් මෙම පර්යේෂණයන්ගේ ප්‍රතිපල අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දීමේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි මෙය කළේ අපේ පර්යේෂණයක් විදිහටයි. අපි එම වාර්තාවන් ජාත්‍යන්තර පර්යේෂණ සඟරා වෙත නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Exit mobile version