එක්ස්ප්‍රස් පර්ල් වන්දිය නොගත්තාට ජනාධිපතිටත් උසාවි යන්න වෙයි!

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධියෙන් වූ සමස්ත හානිය සඳහා  වන්දි ලබා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවත්වීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඇතුළු වගකිව යුතු පාර්ශ්ව වගඋත්තකරකරුවන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් ඊයේ (17)   ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ, හර්මන් කුමාර සහ අරුණ රොෂාන්ත යන පෙත්සම්කරුවන් විසින් ගොනුකරන ලද මෙම සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා වරයා අධිකාරිය සහ එහි සභාපතිවරයා, වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා, හාබර් මාස්ටර්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වරාය සහ නාවික අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා, එක්ස්ප්‍රස් පර්ල් නැව් හිමිකාර සමාගම සහ එහි  නියෝජිතයන්, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ විශේෂයෙන් ම ජනාධිපතිවරයා ද වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් අනතුරෙන් පසු මාස ගණනක් ගතවී ඇතත් ප්‍රමාණවත් වන්දි මුදලක් අයකර ගැනීම  සඳහා අවශ්‍ය පරිසර හානි වාර්තා මෙන්ම සිදුවූ අනෙකුත් අලාභහානි පිළිබඳ වාර්තා සකස් කිරීමට රජයේ ආයතනය මගින් ගන්නා උත්සාහයන්ගේ ඇති ඇල්මැරුණු ස්වභාවය සහ සිදුවූ ප්‍රමාදයන් සම්බන්ධවත්,  විශේෂයෙන් ම වෙරළ පිරිසිදු කිරීම සහ අදාල පරීක්ෂණ වාර්තා සකස්කිරීමේ කටයුතු වල නිරත පාර්ශවයන්ට ප්‍රමාණවත් ගෙවීම සහ පහසුකම් ලබාදීමට කටයුතු නොකිරීමත්,  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රමුඛ අනෙකුත් වගකිවයුතු ආයතනවල තනතුරුධාරීන් තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු නොකර ඇතැයි යන චෝදනාත් මෙම පෙත්සම මගින් ඉදිරිපත්කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියළුම අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමුකර විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් පරිසරයට සිදුව ඇති හානිය, ධීවර ජනතාවට සිදුවූ හානි, සංචාරක කර්මාන්තයට සිදුවූ හානි මෙන් ම විශේෂයෙන් ම සමුද්‍ර ජීවීන්ට සිදුවූ හානීන් ද වායු දූෂණය සහ සමස්ත පරිසරයට සිදුවූ හානිය පිළිබඳව ද දීර්ඝ ලෙස විමර්ශනය කර ප්‍රමාණවත් වන්දි මුදලක් අයකරගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස සහ ඒ සඳහා සුදුසු නියෝග නිකුත් කරන ලෙස මෙම නඩුකරය මගින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

Exit mobile version