ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමට ලක්ව සිටි මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවෙයි.

එම දඬුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසියට අනුව උන්වහන්සේට ජනපති සමාව ලැබී ඇතැයි වාර්තා වේ.

ඌවතැන්නේ සුමන හිමියන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ජනාධිපති හා අගමැතිගෙන් ඉල්ලීම් කර තිබිණ.


හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් ඔහුගේ ප්‍රධානම ආධාරකරුවකු ලෙස කටයුතු කළහ.

මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන්, මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.

එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය

ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා, උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ 2020 ජුනි 01 වැනිදා ය.

ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සරත් ෆොන්සේකා මහතා පිහිටවූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද ඌවතැන්නේ හිමි පසුගිය කාලයේදී කටයුතු කළේය

Exit mobile version