උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

දිය හැකි ආකාරය කොමිසම යලිත් පෙන්වා දෙයි !

Power

අද සහ හෙට (30 සහ 31 ) දිනවලදී උසස් පෙළ විභාගය ලියන සිසුන් වෙනුවෙන අඛණ්ඩ විදුලිය සැපයුමක් සඳහා ජල විදුලිය ජනනයට ප්‍රමාණවත් ජලය නිදහස් කිරීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මේ වනවිට පිවර ගෙන ඇතැයි  මහජන උපයොගීතා කොමිසම පවසයි.

එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එය සිදු කළ අතර විභාගය පැවැත්වෙන ඉදිරි දිනවලට අදාල ජල නිදහස් කිරීම් සදහා ලබන පෙබරවාරි පළමුවැනිදා තීන්දු කිරීමට නියමිතය.

මේ අනුව අද සහ හෙට විදුලිය කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයද තීරණය කර තිබේ.

මීට අමතරව විදුලි බල මණ්ඩලය පවසන ආකාරයට අතිරේක මුදල් වැය කිරීමකින් තොරව උසස් පෙළ විභාගය අවසන් වන වන පෙබරවාරි මස 17 වැනිදා දක්වා ජල විදුලිය පමණක් භාවිත කර විදුලිය ජනනය කළ හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (30) ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලිඛිතව කරුණු පෙන්වා දී ඇත.


කොමිසමේ  සභාපති ජනක රත්නායක  විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලියන ලද ලිපියක් මඟින් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපෙක්ෂව ජල විදුලිය පරිභෝජනය අඩු වීමත් දෛනිකව සිදුවන විදුලිය කප්පාදුව මඟින් ඉතිරි වන විදුලියත් සැලකිල්ලට ගත් කල අතිරේක පිරිවැයකින් තොරව අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දිය හැකි බවය.

යම් හෙයකින් විදුලි බල මණ්ඩලයට අතිරේක වැය වීමක් සිදුවන්නේ නම් විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇති ඉදිරි පිරිවැය මත බලපාන ගාස්තු සංශෝධනයකදී මෙම වියදම පියවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

මෙම ලිපියෙන් කරුණු දක්වා ඇති මහජන උපයාගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අනුව 2022 වසර ට සාපෙක්ෂව ශ්‍රි ලංකාවේ විදුලිය ඉල්ලුම සියයට 13ත් 14ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. මීට අමතරව මේ වනවිට ක්‍රියාත්මක වන විදුලිය කප්පාදුව හේතුවෙන් දෛනික ගිගාවොට් පැය 1.3ත් 2ත් අතර ප්‍රමාණයක් ඉතිරි වන අතර මෙම අඩු පරිභෝජන තත්ත්ව මත පසුගිය වසරට සාපේක්ෂව විදුලිය උත්පාදනය සඳහා ජලාශවලින් ජලය පිට කිරීමද සියයට 20ත් 21ත් අතර ප්‍රමාණයක් අඩුවී තිබේ.

මේ වනවිට ජලාශවල ගිගාවොට් පැය 778ක විදුලිය ධාරිතාවක් නිපදවීම සඳහා ප්‍රමාණවත් ජලය පවතින අතර එය පසුගිය වසරට සාපෙක්ෂව ගිගාවොට් දහසක පමණ වැඩි වීමකි. මේ අනුව ජල විදුලිය භාවිත කර අතිරේක පිරියවැයකින් තොරව උසස් පෙළ දරුවන් සඳහා විදුලිය නොකැපීමෙන් දායක විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව ජල සම්පත් ලේකම් කාර්යාලයෙන්ද මහජන උපයොගීතා කොමිසම අදල ජලය නිදහස් කිරීම පිළිබඳව එකඟතාව ඉල්ලා තිබූ අතර අද වනවිට එම එකඟතාවද හිමිවිය.

Exit mobile version