උපාධිය වෙනුවෙන් සෑම වසරකම නික්ම යන අක්බාර් පාලමේ බඹර ගොමුවල කතාව!

සමාසවී උඩුවැරැල්ල –

ලොවක් තනන්නටත් යහපත් මිනිසුන් තනන්නටත් බුද්ධියත් ජීවයත් දෙකම ඕනෑය. හරියටම රැවුළයි කැඳයි දෙකම ඕනෑ වාගේය. පේරාදෙණි විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිදුවූයේද රැවුළයි කැඳයි දෙකම බේරාගැනීමේ ව්‍යාපෘතියකි.

.ඒ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සඳහා පැමිණෙන දහසක් වූ මවුපියවරු සිසු සිසුවියන් බඹර පහරින් රැකගැනීමේ අරමුණින් අක්බාර් පාලම යට තිබූ බඹර කූඩු දහසයක් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ය.

මේ සඳහා සෑම වසරකදීම ඉදිරිපත් වන්නේ බිඟු සම්පත සුරැකීමේ සංවිධානය යි.

මෙවර එම සංවිධානය බඹර කූඩු ඉවත් කළේ දොළොස් වෙනි වතාවටය. පාලම යටි පැත්තෙන් මැදට වන්නට බැඳ තිබූ බඹර කූඩු බඹරුන්ට කිසිදු හානියක් නොවන ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීම විශ්මය ජනක ක්‍රියාවලියකි.


බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සභාපති ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහින්ද විජේසිංහ හා එහි ප්‍රධාන ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මෙම කටයුත්ත සඳහා මුල්තැන ගත්හ.

පාලම යට තිබූ බඹර කූඩු එකිනෙක ගලවා බඹර පැණි ද රැගෙන,  සිදුකළ මෙම මෙහෙයුම  ජීවිතය හා මරණය අතර පොරබදිමින් කළ සටනක් බඳු විය.  මෙහෙයුම දියත් කළේ ඉසුරු පෝල්, ඒෂාන් සංජය, එච්. රාසික්,  නුවන් කීර්තිරත්න,  සුරංග සහ නිමල් ද අල්විස් යන කණ්ඩායම ය.

දොළොස් වතාවක් බඹර වද ගලවා මහඟු මෙහෙවරක් ඉටු කරන මෙම පිරිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය විකුම් ජයසිංහ   ඇතුළු කණ්ඩායම සහභාගී කරගෙන තිබිණි.

ඔවුන් මෙම ක්‍රියාදාමය ප්‍රායෝගිකව අත්විඳීමින් ඔවුන්ගේ පර්යේෂණ වාර්තා සහ දත්ත රැස් කිරීම සඳහා දායක කරගැනීමට බලාපොරොත්තු වී තිබිණි.

අක්බාර් පාලමේ බඹර වද….

මෙවන් අවස්ථාවක් උදාවන්නේ  උපාධි ප්‍රදානෝත්සවය සඳහා පැමිණෙන්න පිරිස් බහුතරයක් විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ට වන්නේ අක්බාර් පාලම මතින් වීම නිසාය.

දශක කිහිපයකට පෙර පාලම මතින් ගමන් කළ පිරිස නිසා ඇතිවූ කම්පන තත්ත්වයත් මෙම පිරිස් සුවඳ විලවුන් ආදිය ගල්වා පැමිණීමත් හේතුවෙන් බඹර කූඩු ඇවිස්සී බඹර ප්‍රහාරයක් එල්ල කළ අවස්ථා විය. එම තත්ත්වයන්ට ලක්වීමේ අවදානම අවම කිරීම පිණිස සිට බඹර වද කපා ඉවත් කිරීම සිදුකරනු ලබයි.

“අපගේ එකම අරමුණ බිඟු සම්පත සුරැකීමයි. පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සහ ඉංජිනේරු පීඨයේ යා කරමින් තිබෙන අක්බාර් පාලම මහවැලි ගඟේ සිට අඩි එකසිය පනහක් පමණ උසකින් බඹර කූඩු පිහිටා තිබුණේ. පාලම යට පැත්තේ මැදට වන්නට බැඳ තිබූ බඹර කූඩු 32ක බඹරුන්ට සුළු හෝ හානියක් නොවන පරිදි ඉවත් කිරීම අපගේ එකම අරමුණ වුණා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එය මෙවර ද සාර්ථක කර ගැනීමට හැකිවුණා . මෙම කාර්ය අප කරන්නේ කලක සිටයි. අපගේ සේවාව නොදන්නා බොහෝ දෙනා මී වද බඹර වද හෝ කපා පැණි ලබා ගන්නේ මේ බිඟුන් පුළුස්සා විනාශ කර දමමින්. ඒ හරහා සිද්ධ වන්නේ විශාල පරිසර හානියක් .මන්ද සමස්ත ගස්කොළන්වල පර පරාගනය සිදු කරන්නේ මේ කුඩා කෘමීන් නිසයි.” බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට කියා සිටියේය.

Exit mobile version