දිනසේන රතුගමගේ:
රජය උතුරු පළාත තුළ යළිත් වරක් යුද හමුදාව ස්ථාපිත කරමින් පරීක්ෂා කිරීමේ මුරකපොලු වැඩි කිරීම මැතිවරණ ප්රචාරක කටයුතු කරගෙන යාමට බාධාවක් බැවින් වහාම ඒ පිළිබඳව සොයා බලන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා 28 දා ස්විස්ටර්ලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
විග්නේස්වරන් මහතා මෙම ඉල්ලීම කොට ඇත්තේ ස්විස්ටර්ලන්ත තානාපති පීටර් මෝග් මහතා හා දේශපාලන සිඩෝරිනියා ගාබ්‍රියෙල් මහත්මිය යාපනයට පැමිණ ඔහුව හමු වූ අවස්ථාවේදීය.
මෙහිදී තානාපතිවරයා හා විග්නේස්වරන් මහතා අතර දැනට යාපනයේ පවතින තත්ත්වය පිළිබදව කරුණු සාකච්ඡා කොට ඇති අතර එහිදී විග්නේස්වරන් මහතා පෙන්වා දී ඇත්තේ රජය නල්ලූර් කෝවිලේ උත්සවය පවා පාලනය කරණු ලබන්නේ හමුදාව යොදාගෙන බවයි.
යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ වවුනියාවේ සිට යාපනය දක්වා ගමන් කරණ විට මුරකපොලු විස්සක් පමණ අලුතින් පිහිටුවා ඇති බවත් කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ගම්මාන වල අතුරු මාර්ග වල පවා හමුදාව වැසියන්ව පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරණ බවත් විග්නේස්වරන් මහතා පවසා තිබේ.
රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු සියලු සේවාවන් උතුරු පළාත තුළ සිදු කරණු ලබන්නේ යුද හමුදාව විසින් බව මෙහිදී විග්නේස්වරන් මහතා පෙන්වා දී ඇති අතර රජයේ ග්‍රාම නිලධාරීවරයාගේ රාජකාරිය පවා සිදු කරණු ලබන්නේ යුද හමුදාව විසින් බවද ස්විස්ටර්ලන්ත තානාපතිවරයාට පෙන්වා දී තිබේ.
මේ කාරණය නිසා උතුරේ ජනතාවගේ නිදහසට විශාල බාධාවක් වී ඇති අතර එම තත්ත්වය උතුරේ මැතිවරණය සදහා සෘජුව හා වක්‍රව විශාල බලපෑමක් කොට ඇතැයිද වැඩිදුරටත් සදහන් කොට තිබේ.