උතුරේ පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණය වන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ… පුරාවිද්‍යා නිලධාරීනුත් අනාරක්ෂිතයි… විගණනය කියයි!

යුද්ධය සමයේදීත් ආරක්ෂා වූ පුරාවිද්‍යා නටබුන් දේශපාලන කල්ලි සහ කොවිල් භාරකරුවන් විසින් වනසන අයුරු විගණනය හෙළි කරයි....

යුද්ධය නිමා වීමත් සමග උතුරේ  වව්නියාව, මුලතිව්, මන්නාරම, යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්කවල සිදුකළ මූලික පුරාවිද්‍යා ක්ෂේත්‍ර  ගවේෂණවල දී  හඳුනාගෙන වාර්තා කර තිබූ පුරාවිද්‍යා ස්ථාන 479කින් අති බහුතරයක් 2023.07.28 වනවිට දරුණු ලෙස විනාශ වී ඇති බව ජාතික විගණන   කාර්යාලය   අද (03) කෝප් කමිටුව වෙත ඉදිරිපත් කළ   විශේෂ ක්ෂේත්‍ර    විගණන වාර්තාව හරහා හෙළි දරව් කරයි.

උතුරු නැගෙනහිර කලාපයේ යුද්ධය පවතින වකවානුවේ ආරක්ෂා වී  තිබී, යුද්ධයෙන්  පසුව හඳුනාගෙන වාර්තා කළ පුරාවිද්‍යා ස්ථාන 479 ඇතුළත් උතුරේ පුරවිද්‍යා උරුමය සම්බන්ධව  වර්ථමාන කාර්ය සාධනය පරීක්ෂාව සඳහා පසුගිය ජූලි මස 17 සිට 28 දක්වා කාලයක තුළ ජාතික විගණන ලේකම් කාර්යාලය සිදුකළ ක්ෂේත්‍ර විගණන පරීක්ෂාව පිළිබඳ වාර්තාව නිකුත් කරමින් එම කාර්යාලය මෙම අනාවරණය සිදු කරයි.

ක්ෂේත්‍ර විගණනයේ දී පුරාවිද්‍යා ස්ථාන 83ක් එම විගණන කණ්ඩායම විසින් ආවරණය කර තිබිණි.

විගණනය මෙහිදී අවධාරණය කර පෙන්වා දී  ඇත්තේ උතුරු පළාත තුළ රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු බලතල ක්‍රියාත්මක කළ නොහැකිව  තිබූ බවය.


බොහෝ පුරා විද්‍යාත්මක ස්ථානවල ඉදිරි පුරාවිද්‍යාත්මක කාර්යයන් සඳහා සිවිල් ජනතාවගෙන් විරෝධයක් නොපැවති නමුත් පවතින දේශපාලනික හා කෝවිල් භාරකත්වයේ බලපෑම් නිසා විශාල වශයෙන් පුරාවස්වතුවලට සහ පුරාවිද්‍යා භූමිවලට හානි වී තිබුණු අයුරු නිරීක්ෂණය කළේ යැයි විගණනය වාර්තා කරයි.

හඳුනාගත් ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි දැනටමත් ස්ථූප ගොඩැලි සම්පූර්ණයෙන්ම පොළොවට සමතලා කර ඒ මත විශාල කෝවිල් ඉදිකර ඇති ආකරය නාග තාම්බ්‍රාන් සහ වව්නියාව සිවපුරම් ශ්‍රී මලේ පුරාවිද්‍යා ස්ථාන නිදර්ශන කර    විගණනය පෙන්වා දෙයි.

එමෙන්ම සමහර ස්ථූප ගොඩැලි මත කුඩා කෝවිල් හා දෙමළ ක්‍රිස්තියානි පල්ලි ඉදිකිර ඇති ආකාරය විගණන කාර්යාලය විසින් ඉදිරිපත් කරන්නේ නෙඩුන්කේනි ශිවනගර් පුරාවිද්‍යා නටබුන් සහ කුලාමුරිප්පු සහ කොඩ්ඩියාමලෛ පුරාවිද්‍යා ස්ථානවලට සිදුවී ඇති හානිය උපුටා දක්වමිනි.

මෙතෙක් යුද හමුදා කඳවුරු පිහිටි ඉඩම්වල ආරක්ෂා වී තිබූ පුරාවිද්‍යා ස්මාරක එම කඳවුරු ඉවත් වීමත් සමග ඉතා අනාරක්ෂිතව විනාශ වෙමින් ඇති බව ද විගණනය කියයි.

මේ තත්ත්වය තුළ ප්‍රවේශ මාර්ග අවහිර කිරීම, සන්නිවේදන ගැටලු, තර්ජන හා බියවැද්දීම්, කණ්ඩායම් බලය ප්‍රමාණවත් නොවීම වැනි හේතූන් මත දෙපාර්තමේන්තු නිලධාරීන් ද අනාරක්ෂිත බව විගණනය ප්‍රකාශ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තිස් වසරක් යුද්ධ කාලයේ ආරක්ෂිත වී තිබුණු පුරාවිද්‍යා ස්මාරක, සහ පුරාවිද්‍යාත්මක ලෙස සංවේදී කලාප විනාශ වී යෑම බලවත් අපරාධයක් බව විගණනය විසින් අවධාරණය කර ඇත.

Exit mobile version