උඩුගුවනේ දී තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වෙයි… ගුවන්ගතවී පැයකට පසුව යළි කටුනායකට…

කීර්ති ප්‍රනාන්දු – 

ගුවනේ දී කාර්මික  දෝෂයකට ලක් වීම හේතුවෙන් තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලින් ගුවන්ගත වී පැය 01 විනාඩි 07කට පසු නැවත වරක් කටුනායක ගුවන්තොටුපල වෙත හරවාගෙන පැමිණ තිබේ.

මෙසේ හරවාගෙන පැමිණ තිබුනේ ඊයේ (21) කටුනායක ගුවන්තොටුපලින් ගුවන්ගතවූ  UL 225 කාණ්ඩයේ A 330 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයා බස් ගුවන් යානයකි.

කටුනායක ගුවන්තොටුපලින් ඊයේ සවස 6.27ට ගුවන්ගත වූ යානයේ මගීන් 256ක් සහ කාර්යමණ්ඩලය 13ක් ගමන් කරමින් සිට ඇත.

ගුවනේ දී යානය තුළ සිදුවූ පීඩන දෝෂයක් හේතුවෙන් අතරමැද ගමන නැවැත්වූ යානය යළි කටුනායක ගුවන්තොටුපල කරා රැගෙන එන්නට ගුවන් නියමුවා විසින් තීරණය කර තිබේ.


අනතුරුව යානය ඊයේ රාත්‍රී 7.33ට යළිත් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබේ.  අනතුරුව ගුවන් මගින් අවට හෝටල් වෙත යොමු කර ගුවන් යානය යථා තත්ත්වයට පත්කිරීමට ගුවන් ඉංජිනේරුවරුන් කටයුතු ආරම්භ කර ඇත.

අනතුරුව UL 225 කාණ්ඩයේ A 330 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයා බස් ගුවන් යානයකින්ම අද දහවල් 11.33ට මගීන් ඩුබායි වෙත පිටත් කර යවා ඇත.

මේ එක දිගට වාර්තා වූ මෙවැනි තුන්වැනි සිද්ධිය වීම ගුවන් සමාගමට බරපතල අපකීර්තියක් අත්කර දී ඇති බව වෘත්තීය සමිති පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිදුවන්නේ ගුවන් සමාගම ස්වභාවික මරණයකට පත්කිරීමක්දැයි සැකයක් ඇතිවන බව කියන එම වෘත්තීය සංගම් අමතරකොටස් සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් මේ වනවිට ගුවන් යානා 06ක් පමණ නඩත්තු තත්ත්වයෙන්  ගාල්කර පවතින බව හෙළි කරයි.

 

Exit mobile version