යල අඩාල වීමට පෙර ඉන්දියාවෙන් පොහොර නැවක් !

fertilizer rice farmer food price

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටිනුයේ නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයයි. මේ අර්බුදයේ සෘජු නිර්මාණකරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයයි. අති දැවැන්ත ජනවරමකින් විධායකයේත් ව්‍යවස්ථාදායතකයේත් බලය ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණු ආණ්ඩුව ආරම්භයේ සිට අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති දෙකක් මේ වනවිට රටේ ජනතාව කුසගින්නට, මෙන්ම දුක් ගින්නට දැවෙන තත්ත්වයකට තල්ලු කර ඇත.

මේ හේතුවෙන් අද ඕනෑම කුඩා වේ, මී මැසි වැනි කෘමි රාජධානියක අනුගමනය කෙරෙන මූලික සිද්ධාන්තයක් වන ආහාර සහ බලශකන්ති සුරක්ෂිතතාව ස්ථාවර කර ගැනීමට අති දැවැන්ත බලයකින්= පැමිණි නායකයන්ටත් ඔවුන්ගේ අනුගාමික මහජන නියෝජිතයන්ටත් නොහැකි වී තිබේ.

මේ විපත්තිදායක වාතාවරණය ශ්‍රි ලකාවේ ජීවත් වන මිලියන 22ක් පමණ වන ජනතාවට ළඟා වීමට ගතවන්නේ මාස තිහක් පමණි.


මේ වැරදි ප්‍රතිපත්ති අතර ලෝකයම අවධානය යොමු වූ මූලික තීරණ දෙකක් බලපෑවේය. එකක් 2019 වසරේ නෙවැම්බර් මාසයේ බලයට පැමිණි මෙම රජය රටේ රාජ්‍ය ආදායම දැවැන්ත ලෙස අඩු කිරීමට හේතු වූ බදු කප්පාදුවක් කළේය. මේ වැරදි බදු පිළිවෙත නිසා රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වන්නට පටන් ගත්කේය. මුදල් මුද්‍රණය කිරීමේ තීරණයට රටේ ආර්ථිකය හසුරුවන බලධාරීන් තල්ලු කරවීමට බලපෑවේත් අද දැවෙන ලොකුම අර්බුදය වන විදේශ විනිමය අර්බුදයට එක් පැත්තකින් බලපෑවේද මේ වැරදි පිළිවෙතයි.

මේ රජය ආහාර සුරක්ෂිතතාව අවදානමකට ලක් කරමින් ගත් තීරණය වූයේ කිසිදු පූර්ව සැලසුමකින් හෝ මඟ පෙන්වීමකින් තොරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙරට කෘෂිකර්මය සදහා අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනයට කළ තහනමයි. එයින් නොසිතූ විරූ පසුබෑමක් මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ සිදුවිය.

මේ වනවිට ජනාධිපතිවරයාද තමන් විසින් ගන්නා ලද්දේ වැරදි තීරණයක් බව පිළිගෙන එය මේ වනවිට ආපසු හැරවීමටද කටයුතු කර තිබේ. එහෙත් රාජ්‍ය නායකයාගේ වැරදි තීරණය මේ වනවිට රටේ කෘෂිකර්මය සහ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව පරම්පරා ගණනාවකට බලපාන තරමට බරපතල වී ඇත. එසේම ඔවුන් නිර්මාණය කළ සෙසු අර්බුද හේතුවෙන් ඇති වූ විදේශ විනිමය අර්බුදය දැන අපට පොහොර තිබුණද ඒවා මිලදී ගන්නට හැකියාවක් නොමැති කම නිසා අර්බුදයට ලක්ව තිබේ.

පසුගියදා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ ආකාරයට රටේ ආහාර සහ බලශක්ති සුරකෂිතාව ඇතුළු අර්බුදය හමුවේ අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් නොවන්නට අපට මේ තුළ දරුණු ලෙස ගිලී යන්නට ඉඩ තිබුණි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන පහකට ආසන්න ආධාර සිදු කර ඇති ඉන්දියාව ආහාර සුරක්ෂිතතාව කෙරෛහි තවදුරටත් අවධානය යොමු කරමින් පසුගියදා යූරියා පොහොර ටොන් 65,000ක් ශ්‍රි ලංකාව ඉන්දීය ණය යොජනා ක්‍රමය යටතේ ලබා දීමටද පියවර ගත්තේය.

ශ්‍රී ලංකාවේ වත්මන් යල වගා කන්නය සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර චතුරවේදි මහතා නවදිල්ලියේදී පසුගියදා හමුවූ බව මාධ්‍ය වාර්තා කළේය.

යල වගා කන්නය මේ වනවිට ආරම්භ වී ඇත. එහෙත් යල කන්නයද “අල වීමේ අනතුරක් ඇත්තේ නිසි කලට පොහොර නොලැබීම නිසාය. ඒ සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දියාව ගත් තීරණය පිළිබඳව මොරගොඩ චතුර්වේදිට ස්තුතිය පුද කළ බව නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන්දියාවට මේ යූරියා ශ්‍රි ලංකාවට එවන්නට රටේ නීති රීති ද වෙනස් කිරීමට සිදුවිය. ඒ එරට යූරියා අපනයනය තහනම් කර තිබියදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම යූරියා ප්‍රමාණය වහාම ශ්‍රී ලංකාවට ලබාදීම සඳහාය.

ඉන්දියාවේ ‘අසල්වැසියාට පළමුව ‘ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට තම දෙපාර්තමේන්තුව සැමවිටම සූදානම් බවත්, රාජ්‍ය සමාගමක් හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය යූරියා ප්‍රමාණය ළඟම ඇති වරායෙන් නැව්ගත කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් චතුර්වේදි ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

මහ කොමසාරිස්වරයා සහ ලේකම්වරයා දැනට පවතින ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ ක්‍රම සහ විධික්‍රම ද සාකච්ඡා කළහ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ණය, ණය මාර්ග සහ ණය හුවමාරුව සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 3 කට වැඩි මුදලක් ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

යල යනු ශ්‍රී ලංකාවේ වී වගා කරන කන්නය වන අතර එය මැයි සිට අගෝස්තු දක්වා පවතී.

මහ සැසියේදී වී වගාව පහත වැටීමෙන් පසු කෘෂිකාර්මික වෙළඳපොලේ ඇති වන බාධාව වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය කෘෂිකාර්මික අංශය නංවාලීමේ අරමුණින් සිටී.

රසායනික පොහොර තහනමෙන් පසුව කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස සැපයීමට රජයට හැකි වූයේ නැත. චීනයෙන් කාබනික පොහොර තොගයක් ගෙනාවද ඒවා මෙරට කෘෂිකර්මාන්තයට අතිශයින්ම අහිතකර වූ ව්‍යාධිජනක සහිත වීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවිය. චීන බලහත්කාරකම් මැද රාජ්‍ය තාන්ත්‍රික නොහොඳ නෝක්කාඩු ඇති වීම දක්වාම එය දුර දිග ගියේය.

පොහොර හිඟය කෘෂිකාර්මික නිෂ්පාදනයට, විශේෂයෙන්ම සහල් සහ තේවලට බලපෑ අතර, රජය විසින් ප්‍රධාන භෝග කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන තහනම පසුගියදා අවසන් කළේය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැය වේ. පොහොර නොමැතිකම සහ තම ගොවිබිම් අත්හැරීමට සිදු වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ගොවීන් සිය විරෝධතා තීව්‍ර කර ඇත.

ශ්‍රී ලංකාවේ ගොවීන් මිලියන 2 කට වඩා සිටින අතර එහි මිලියන 22 ක ජනතාවගෙන් සියයට 70 ක් පමණ සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තය මත යැපෙති.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ විදේශ මුදල් හිඟකම නිසා වන අතර, එයින් අදහස් කරන්නේ රටට ප්‍රධාන ආහාර සහ ඉන්ධන ආනයනය සඳහා ගෙවීමට නොහැකි වන අතර එය උග්‍ර හිඟයකට සහ ඉතා ඉහළ මිලකට මග පාදයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (19) පාර්ලිමෙන්තුවේදීද මේ ආහාර අර්බුදය කතා බහට ඇදුණු මාතෘකාවක් විය. මේ වනවිට ගොවියාට පොහොර පමණක් නෙවා ඉන්ධන ද අර්බුදයක් වී ඇත. මේ හේතුවෙන් නිසි කලට වගා කිරීම අභියෝගයක් ව ඇත. එවැනි තත්වයක් මත සෑම බිම් අඟලකම වගා කිරීම ගැන අවධානය යොමු විය.

Exit mobile version