ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 20ක් එයි

ඉන්දීයාවේ දුම්රිය තාක්ෂණික සහ ආර්ථික සේවා සමාගම (RITES Ltd) විසින් සපයන ලද දුම්රිය මගී මැදිරි 20ක් පසුගියදා (17) කොළඹ වරායට ළඟා විය. මෙම මැදිරි තොගය ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඉන්දීය ණය ආධාරයක් යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මගී මැදිරි 160ක් සැපයීමට වන ගිවිසුමක කොටසකි. මෙම ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6 කි.

මෙම මැදිරි තොගයත් සමඟින් මේ වන විට මැදිරි 160න් මැදිරි 60ක් ශ්‍රී ලංකාවට සපයා ඇත.

තවත් මැදිරි 20ක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර ඇත. පළමු මැදිරි තොගය 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉන් අනතුරුව අවශ්‍ය පරීක්ෂණ ධාවන කටයුතු ද සිදු කරන ලදී. ඉන්දියාවේ නිෂ්පාදිත මෙම අති නවීන මැදිරි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අවශ්‍යතාවයන්ට අනුව විශේෂයෙන් සකස් කර ඇත.


ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය ආධාරය යටතේ RITES Ltd විසින් වායු සමීකරණය කරන ලද ඩීසල් බහු ඒකක 2ක් ද සැපයීමට නියමිතය. පළමු වායු සමීකරණය කරන ලද ඩීසල් බහු ඒකක කට්ටලය (මැදරි 13 ක්) ඉන්දියාවේ සිට එවීමට සූදානමින් තිබෙන අතර ඒ වෙනුවෙන් නැවක් ශ්‍රී ලංකාව විසින් නම් කරන තුරු පොරොත්තුවෙන් සිටී. මෙම ණය ආධාරය යටතේ ක්‍රියාත්මක අනෙකුත් ව්‍යාපෘතීන් යටතට මහව සිට ඕමන්තේ දක්වා කි.මී 128ක දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, මහව – අනුරාධපුරය දුම්රිය සංඥා ව්‍යාපෘතිය සහ පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීම යනාදිය ඇතුළත් වේ.

මෙයට පෙර RITES Ltd විසින් ඩීසල් බහු ඒකක 6ක් (ගිවිසුම 2019 ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ කරන ලදී) සහ ඩීසල් ලොකමටිව්ස් රේල්වේස් 10ක් (ගිවිසුම 2020 ජූනි මාසයේදී සම්පූර්ණ කරන ලදී) වෙනත් ණය ආධාරයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා ඉන්දියාව ලබා දී ඇති සහයෝගය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට ආසන්නය. මෙයට ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ප්‍රදාන ඇතුළත් වේ. ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතාවයන් අනුව ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය විශේෂ අවධානයක් යොමු වී ඇති ක්ෂේත්‍රයකි. මේ අනුව දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම (කි.මී. 268ක්), දුම්රිය සංඥා සහ විදුලි සංදේශ පද්ධතීන් ස්ථාපනය කිරීම (කි. මී. 330ක්) සහ වෙරළබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීම (කි. මී. 118ක්) යනාදිය සම්පූරණ කර ඇත. තවත් විවිධ ව්‍යාපෘතීන් විවිධ අදියරයන් හි ක්‍රියාත්මක වෙමින් පවතී.

Exit mobile version