ඉන්දියානු ධීවර කොල්ලය ගැන උතුරේ ධීවර සංගම්වලට ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග සාකච්ඡාවට අවස්ථාවක්…

දිනසේන රතුගමගේ –

උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ට ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා වී ඇතැයි උතුරේ ධීවර සංගම් එකමුතුව අද ( 2 )  පැවසීය.

යාපනයට පැමිණෙන ඉන්දීය මුදල් අමාත්‍ය  නිර්මලා සීතාරාමන්   සමග ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන හානිය පිළිබඳව ඉතා දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට තම සංගමයේ පිරිස සූදානම් බවද ඔවුහු කියා සිටියහ.

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අලාභ හානි සහ වෙනත් ක්‍රියා සම්බන්ධයෙන් සාක්කි සහිතව ඉන්දීය මුදල් අමාත්‍යවරියට කරුණු පහදා දී එතුමියගෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවද උතුරේ ධීවර සංගම් එකමුතුවේ නිලධාරීහු කියා සිටියහ.

උතුරේ මුහුදු සීමාව ආක්‍රමණය  කරමින් පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර පැමිණීම වළක්වාලීමට ඉන්දීය රජයට නොහැකිනම් ඒ සඳහා සාධාරණ වන්දියක් උතුරේ ධීවරයින්ට  ගෙවීමට යම් වැඩ පිළිවෙලක් සකස් කරණ ලෙස ඉල්ලා සිටින බවද උතුරේ ධීවර සංගම් එකමුතුවේ නිලධාරීහු පැවසූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද ඉන්දු-ලංකා   ධීවර ප්‍රඥප්තිය පිළිබඳවද  දෙරටේ ධීවර පනත් සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා කොට අත් අඩංගුවට පත්වන දෙරටේ ධීවරයින් සම්බන්ධයෙන් ඉතා ඵලදායි මෙන්ම සුහද ලීලාවෙන් කටයුතු කිරීමට හැකි වන පරිදි ධීවර පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බවද ධීවර සංගම් නියෝජිතයෝ කියා සිටියහ

Exit mobile version