ඉතිහාසයේ වැඩිම සහල් මිල අඩු කරන්න සඳුදාට බන්දුලගෙන් ගැසට් එකක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා ඉතිහාසයේ සහල් මිල පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන අද (24) පිළිගත්තේය.

නාඩු කිලෝවක මිල රුපියල් රුපියල් 130 දක්වාත්, සම්බා කිලෝවක මිල රුපියල් 160 දක්වාත්, කීරී සම්බා කිලෝවක මිල රුපියල් 220 දක්වාත් ඉහළ ගොස් ඇති බව ඇමතිවරයා කීවේය.

මේ තත්වය තවදුරටත් පවත්වාගැනීමට කිසිම ඉඩකඩක් ලබා නොදෙන බවත්, ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නාඩු සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් සියයට අඩු අගයක පිහිටුවා ගැසට් කරන බවත් ඇමතිවරයා කීවේය.

එමෙන්ම පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර ජාවාරම්කාරයින් වැඩි මිලට විකිණීම සඳහා ගොඩගසාගෙන ඇති සහල් තොග රාජ සන්තක කිරීම, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන පුද්ගලයන් ට මෙතෙක් නියම කළ රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂය තෙක් වැඩිකිරීම සඳහා අණපනත් සංශෝධනය කර අවුරුදු 3ක ඉදිරි කාලයක් සඳහා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් සියය හෝ ඊට අඩු අගයකට පවත්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව ඇමතිවරයා කීවේය.

මාධ්‍ය ඉදිරියේ වෙළෙඳ ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“සහල් මිලේ අධික වැඩිවීම පාලනය කර ඉදිරියට පවත්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කර පොදුජනතාවගේ සහල් මිල රුපියල් 100ට වඩා අඩුකර වර්ෂ තුනක කාලයක් සඳහා පවත්වා ගැනීමට දිගුකාලීන වැඩපිළවෙළක් සකස් කරලා තියනවා. “

“මේ වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස ලබන කන්නයේ කැපෙන ගොයමේ අස්වැන්න සඳහා උපරිම සිල්ලර මිල නාඩු වී කිලෝවක් රුපියල් 50ක් ලෙසත්, සම්බා වී කිලෝවක් රුපියල් 52ක් ලෙසත්, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 55ක් ලෙසත් නියම කර තිබෙනවා. ඒ මිලට වී මිලදී ගැනීමට මහා පරිමාණ මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ වී මෝල් හිමියන් එකඟතාවයකට පැමිණියා. එය ලිඛිත එකඟතාවයක් බවට ඉදිරි සතියේ දී පත් කරනවා. “
“ ගොවි ජනතාවට රජය මගින් නියම කර ඇති සහතික මිල සතයක්වත් අඩු නැතිව ලැබෙනවා වගේම ඒ මිලට වඩා වැඩි මිලට විකිණීම සඳහා වී තොග රැස් කරන වෙළෙඳුන්, ව්‍යාපාරිකයන්, ජාවාරම්කරුවන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කරන්න අපි කටයුතු කරනවා.“

“ ඒ අනුව ගොවීන් සහ වී මෝල් හිමියන් හැර වෙනත් පාර්ශවයන් විසින් රැස් කරන ලද වී තොග තිබුණොත් ඒ වී තොග රාජසන්ත කීරීමේ විධි විධාන නව පනතින් සකස් කරනවා. ඒ නිසා ජාවාරම් කරුවන්ට මෙවර වී තොග රැස් කරලා කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. “

“මේ කටයුතු කරලා සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ පසු ඊට වඩා වැඩි මිලට සහල් අලෙවි කළොත් සංශෝධිත නීතිය අනුව දැනට වෙළෙන්දෙකුට පනවන දඩය රුපියල් දෙදහස් නොවෙයි, වරදකරු රුපියල් ලක්ෂයක දඩයකට යටත් කරනවා.“

මීට අමතරව කැබිනට් අනුමැතියෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කර වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ තබා ගන්නා බව කී ඇමතිවරයා ගැටලුවක් ඇතිවුවහොත් වහාම එම සහල් තොග උපරිම මිලට හෝ ඊට වඩා අඩු මිලට වෙළෙඳපලට නිකුත් කරන බව කීවේය.

මෙම ක්‍රියා මාර්ග විධිමත් නීති පද්ධතියක් ස්ථාපිත කර ගනුලබන ඒවා බවත් මීට කලින් උත්සාහ කර අසාර්ථක වූ ප්‍රයත්න මෙතැන් සිට අදාල නොවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. .

Exit mobile version