ඇයි මේ වැහි?… කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හේතු කියයි…

Rain

තුෂාරී කළුබෝවිල –

දිවයින ආශ්‍රිතව බෙංගාල බොක්කේ පැවති පීඩන පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය “යාස්” යනුවෙන් නම් කර තිබේ.

“යාස්” සුළි කුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින අතර ඒ සමග ම නිරිතදිග මෝසම දිවයිනට ස්ථාපිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර බෙංගාල වෙරළ දෙසට ගමන් කරමින් පවතින අතර එහි බලපෑමෙන් තවදුරටත් උතුරු අන්දමන් හා ඊසානදිග මෙන් ම නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බැවින් ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස දැඩි ලෙස අවවාද කෙරේ.


එසේ ම දිවයිනේ උතුර, ඊසාන, නැගෙනහිර මුහුදු වෙරළ ප්‍රදේශවල මෙන් ම දකුණු වෙරළ තීරයේ ද නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතුවල නොයෙදිය යුතු බවට අවධාරණය කෙරේ.

දිවයින වටා මුහුදු තීරයේ පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 3ක් පමණ ඉහළ යා හැකි බවටත්, මුහුදු රළ ගොඩබිම දෙසට පැමිණිය හැකි බවටත් අනතුරු ඇඟවේ.

තද සුළං සහ වැසි

නිරිතදිග මෝසම ස්ථාපිත වීමෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල බොහෝ ප්‍රදේශවලට තද වැසි හා ඇතැම් ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් ද ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කීවේ ය.

විශේෂයෙන් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවූ ධාරානිපාත වැසි ද විටින් විට ඇතිවන බව ඔහු පැවසුවේය.

දිවයින ආශ්‍රිත අරාබි මුහුදේත්, ඒ සමගම බෙංගාල බොක්ක ආශ්‍රිතවත් හටගත් සුළි කුණාටු ද්විත්වයේ බලපෑමෙන් සති දෙකකට වැඩි කාලයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වූ බැවින් මෙවර නිරිතදිග මෝසම් වර්ෂාවෙන් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් වැඩි වීමට ඇති හැකියාව ඉතා ඉහළ බව කරුණානායක පෙන්වා දුන්නේය.

නායෙ යෑම් සහ ගංවතුර

එසේ හෙයින් පසුගිය දිනවල අඛණ්ඩ ව වැසි පැවති කඳු ආශ්‍රිත ව ජීවත් වන පිරිස් ඉදිරි වැසි තත්ත්වයන් පිළිබඳ වඩාත් විමසිලිමත් වියයුතු බව ඔහු අවධාරණය කළේ ය. සුළු වැසි තත්ත්වයකදී වුව ද එකී ප්‍රදේශවල නායයාම්, කණ්ඩි කඩා වැටීම්, පස් දියවී ගලා යාම් වැනි විපත් ඇතිවිය හැකි බව අවධාරණයෙන් කීවේ ය.

එසේ ම කළු, නිල්වලා, ගිං ආදි ගංගා ඇතුළු ව ජලාශ ද බොහෝමයක ජල මට්ටම පසුගිය වැසිවලින් පිරී ඇති බැවින් නිරිතදිග මෝසම් වැසි තත්ත්වය එකී ගංගා හා ජලාශවල ජල මට්ටම් ඉතා වේගයෙන් පිටාර මට්ටමට පැමිණීමට හේතු වනු ඇත. ඒ අනුව වාං දොරටු ද විවර කිරීමට සිදු වන අතර මේ වනවිටත් කුකුළේ ගඟ ජල මට්ටම ඉහළ යාමෙන් එහි වාංදොරටුවක් විවර කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජලාශ හා ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව ද ඉදිරි දින කිහිපයේ විමසිලිමත් වියයුතු වේ.

අකුණු අනතුරු

නිරිතදිග මෝස්ම බලපාන ප්‍රදේශවලට සවස් හා රාත්‍රී කාලයේ අකුණු අනතුරුවල බලපෑම ද පවතින බැවින් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කළයුතු වේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසූවේ අවදානම් සහිත ප්‍රදේශවලින් අවශ්‍ය වුවහොත් ජනතාව ඉවත් කිරීමටත්, සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත්, හදිසි මෙහෙයුම් සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් හා යාත්‍රා ද ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද සූදානම් ව සිටින බවයි. එසේ ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බැවින් ආපදා තත්ත්වයන් පිළිබඳ ඊට දැනුම් දිය හැකි බව ද ඔහු කීවේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විපතට ගොඳුරු වීමට පෙර ඒ පිළිබඳ විමසිලිමත්ව පෙර සූදානම් වීමේ වගකීම ආපදා සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ද වගකීම වනු ඇත.

Exit mobile version