ඇමෙරිකාවෙන්-යුරෝපෙන් මාතලේට ඇති අනතුර ගැන රෝහිණි කවිරත්නගෙන් රතු එළියක්

‘යුරෝපා සංගමය, ඇමරිකාව සහ එංගලන්තය ආනයන පාලනයට මිත්‍රශීලි නොවන ප්‍රතිචාර දැක්වීමේ අවදානම‘ කර ශ්‍රී ලංකාව යොමු වෙමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ගෙවුම් ශේෂය පාලනය කිරීමට භාණ්ඩ ආනයනය පාලනය කිරීම, ප්‍රාථමික ආර්ථික උපක්‍රමයක් යැයි කවිරත්න මහත්මිය පැවසූවේ මාතලේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ය.

ඇය වැඩිදුරටත් පහත අදහස් දැක්වීය.


“පසුගිය මාස 6 තුල රජය දැඩි ආනයන පාලනයක් පවත්වාගෙන යයි. බටහිර රටවලින් ආනයනය කරන තත්වයෙන් උසස් භාණ්ඩ, අමතර කොටස්, පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, වාහන, කාර්මික යන්ත්‍රෝපකරණ ඇතුළු භාණ්ඩ හිඟයක් වර්ධනය වෙමින් ඇත.

ආණ්ඩුවේ ආර්ථක දැක්මක් නැතිකම, දිගු කාලීන ආර්ථික හා දේශපාලනික අර්බුද රැසකට මාවත විවර කරමින් තිබේ.

අපේ රටේ ප්‍රධාන අපනයන ඇඟළුම්, තේ, කුළුබඩු, කෝපි, මැනික් ඇතුළත්. මධ්‍යම පළාත තමයි තේ, කෝපි, කුළුබඩු නිෂ්පාදනය කරන ප්‍රධානම මර්මස්ථානය. ඇමරිකානු ඩොලර් මිලියන 1000 කට ලැබෙන්නේ මේ කෘෂි නිෂ්පාදනවලිනි.

මාතලේ – අළහැර සීමාව තමයි ලංකාවේ මිල අධිකම මැණික් හම්බවෙන්නේ. ඩොලර් මිලියන 430 කට වඩා එයින් වසරකට ලැබෙනවා.

ආනයන සිමාකිරීමට එකට එක කිරීමක් ලෙස ඇමරිකාව, යුරෝපය ලංකාවේ අපනයන සීමා කිරීමට තීරණය කළොත් ඉස්සර වෙලාම විනාශ වෙන්නේ මාතලේ, මහනුවර, නුවරඑළියේ ආර්ථිකය යි.

ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙදපොල අපනයනයෙන් 25% ක පංගුවක් හිමි ඇමරිකාවයි. එංගලන්තයට 9% ක් අපනයන පංගුවක් සහිතව දෙවන ස්ථානයේ ද සිටී. යුරෝපා සංගමය ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙදපොළයි. යුරෝපා සංගමයේ රාජ්‍යයන් වන ජර්මනිය 4.7% , ඉතාලිය 4.6% , බෙල්ජියම 3% , තුර්කිය 2%, නෙදර්ලන්තය 1.% , ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ස්විඩනය, පෝලන්තය ලංකාවේ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ පොළ අතර වේ. කැනඩාව 1.8% ක් හිමිකර ගනී. ඒ අනුව, ලංකාවේ අපනයන ආදායමෙන් 80%කට වැඩි කොටසක් යුරෝපා සංගමය (40%), ඇමරිකාව (25%) හා එංගලන්තය (9%) මගින් ලැබේ.

ලංකා අපනයනවලින් 33.8% ක් යුරෝපයට විකුණනු ලබයි. ඇමරිකාව හා කැනඩාවට තවත් 30% කි. මේ කණ්ඩායම් දෙක ආර්ථික හා දේශපාලනිකව තරහා කර ගැනීමක් පාමුලට රජය පැමිණ තිබේ.

ලංකාව භාණ්ඩ ආනයනයක කරනු ලබන්නේ ඉන්දියාව 22%), චීනය (20%), ඩුබායි (7.5%), සිංගප්පුරුව (6.2%), ජපානය (5%) විසිනි. ලංකාවට භාණ්ඩ ගෙන්වන රටවල් අතර ඇමරිකාව (3.9%) හය වන ස්ථානයේ ද, ජර්මනිය 10 වන ස්ථානයේ ද, ඉතාලිය 14 වන ස්ථානයේ ද වේ.
අපගේ අපනයන ආදායම රැදී ඇත්තේ යුරෝපය, ඇමරිකාව හා එංගලන්තය මත ය. යුරෝපා සංගමය දැනටමත් ලංකාවේ ආනයනය සීමා කිරීම පිළිබඳ උනන්දුවී ඇත. ඉතා නුදුුරු කාලයක ලංකාවේ ආනයන සීමා කිරීම් වෙළෙඳ හා දේශපාලනික අර්බුදයක් බවට පත්වීමට ඇති ඉඩ කඩ විවර කරන බව ද කවිරත්න මහත්මිය පැවසූවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහාත්, විදේශ මුදල් සංචිත පවත්වා ගැනීම සඳහාත් ආනයන සීමා කිරීම දිගු කාලීන පිළියමක් වන්නේ නැත. එය දිගු කාලීන අර්බුද රැසකට මාවත හෙළි කරනු ඇති අතරම, අනවශ්‍ය දේශපාලන ගැටුමකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටී.”

Exit mobile version