ඇමරිකානු සීඅයිඒ කාරයාට ඩොලර් ලක්ෂ 65ක් ගෙවීම ගැන තිනියාවල පාලිත හිමි කබ්‍රාල් දැමූ නඩුව තමන්ම ඉවත් කරගනී…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

තිනියාවල පාලිත හිමියන් මෙම නඩුව පවරා තිබුණේ අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා ඇමෙරිකානු සී. අයි. ඒ සංවිධානයේ සාමාජිකයකු වන ඉමාඩ් ෂා සබ්රි නමැත්තාට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවීම සම්බන්ධවය.

අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් එවැනි අතිවිශාල මුදලක් ගෙවා ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව වන බැවින් එය ඉතා බරපතළ වරදක් බව පැමිණිලිකාර තිනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ල මගින් එදා අධිකරණයට පෙන්වා දී තිබිණි.


ඇමෙරිකානු අධිකරණයක් විසින් දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු කර වසර 12ක සිර දඬුවම් නියමකර ඇති තැනැත්තෙකු වන ඉමාඩ් සබ්රි නමැත්තාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාදුන් මුදලින් සියයට 87ක්ම භාවිත කර ඇත්තේ ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ අවශ්‍යතා මත බව මේ වනවිට මාධ්‍ය මගින්ද අනාවරණය කර ඇතැයි සිය පැමිණිල්ල මගින් තිනියාවල හාමුදුරුවෝ පෙන්වා දුන්හ.

එයට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් රජයට රුපියල් බිලියන 10.2ක අලාභයක් සිදුකළ සුප්‍රකට හෙජින් ගනුදෙනුවටද වගකිව යුතු අයකු බවට රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව ද (කෝප් කමිටුව) මගින්ද නිර්දේශ කර ඇතැයි මෙම නඩුවේ දී පැමිණිලිකාර පාර්ශවය අධිකරණයට පෙන්වා දී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පාලිත හාමුදුරුවෝ නඩුව ඉල්ලා අස්කරගත්හ. නඩුවක් නැති නිසා අජිත් නිවාඩ් කබ්‍රාල් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය.

Exit mobile version