ඇමති කී කාබනික පොහොරත් නෑ… ප්‍රමිතිගත පොහොර ඉල්ලා අදත් ගොවීන් උද්ඝෝෂණයේ…

මනම්පිටිය නිමල් ජයරත්න – 

මෙවර මහකන්නයේ කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ කළ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළත් ප්‍රමිතියෙන් යුතු පොහොර ඉල්ලා අදත් ගොවීහු මගට බැස උද්ඝෝෂණය කළහ.

ප්‍රධාන උද්ඝෝෂණයක්  අද (13) පොලොන්නරුව වැලිකන්ද ගොවි ජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී සිදු කරන ලදී. මහවැලි බී කලාපයේ සියලුම ගොවි සංවිධානවල නියෝජිතයෝ මෙම උද්ඝෝෂණයට එක් වී සිටියහ.

“කයිවාරු එපා… ප්‍රමිතියෙන් යුතු පොහොර වහා ලබා දෙනු!“ ඔවුන්ගේ උද්ඝෝෂණයේ තේමාව විය.


උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ මහවැලි ගොවි අයිතීන් සුරකීමේ සංවිධානය හා ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය විසිනි.

උද්ඝෝෂකයන් කීවේ කෘෂිකර්ම ඇමතිවරයා   මේ මස 15ට පෙර පොහොර දෙන්නේ යැයි කී නමුත්    ඊට රජය  මෙතෙක්  ප්‍රායෝගිකව සූදානම් නැති බවය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ,ගොවිජන සේවා මධ්‍යස්ථානය කාබනික පොහොර නිපදවීම   සම්බන්ධව මෙතෙක් තමන්ට පුහුණුවක් ලබාදී නොමැති බවද ගොවීහු කීහ.

මෙම තත්ත්වය මත මෙවර මහ කන්නය සඳහා මහවැලි බී කලාපයේ අක්කර 62,000 පමණ වී වගාව අත්හැරීමට සිදුවන බව මහවැලි ඒකාබද්ධ ගොවිජන සංවිධානය බලධාරීන්ට දැන්වීය.

උද්ඝෝෂණය අවසානයේ දී  වගාවට නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දී ජලය ලබා දෙන ලෙස ඉල්ලමින්    ගොවි උද්ඝෝෂකයෝ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත  සංදේශයක්  බාර දුන්හ.

මේ අතර කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ අද අම්පාර දිස්ත්‍රික්කයෙන් කාබනික පොහොර බෙදා හැරීම ආරම්භ කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුරාධපුර පොලොන්නරුව, මොණරාගල, ත්‍රීකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල සහ  පුත්තලම යන වී වගාව බහුල දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදා හැරීමට ප්‍රමුඛත්වය දෙන බවය.

Exit mobile version