ඇමති කටමැත දෙඩුවට රත්වත්තේ ගැන කිසිම පොලිස් පරීක්ෂණයක් නෑ…

පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි තහවුරු කරයි...

අනුරාධපුර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව පොලිසිය විසින් විධිමත් පරීක්ෂණයක් අරඹා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර    යළි යළිත් ප්‍රකාශ කළත් එබඳු කිසිම පරීක්ෂණයක් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් දියත් වී නැතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

බන්ධනාගාරය තුළ සිදුවූ එම සිදුවීම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෝ සිරකරුවන්ගේ පාර්ශවයෙන් කිසිම විධිමත් පැමිණිල්ලක් ලැබී නැති බැවින් විමර්ශන ආරම්භ කර නැති බව එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මේ වනවිට වින්දිතයන් බව කියන කිසිම සිරකරුවෙකුගෙන් හෝ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගෙන් ප්‍රකාශයක් තරම් දෙයෙක් සටහන් කරගෙන නැතැයි අදාල ආරංචි මාර්ග තහවුරු කරයි.


වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එල්.ටී.ටී.ඊ. රැඳවියන් කණ්ඩායමක් එළියට ගෙන දණ ගස්වා එක් අයෙකුගේ හිසට පිස්තෝලය එල්ල කර  මරණීය තර්ජන කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිට නියෝග කළේය. ඒ සම්බන්ධව අමාත්‍යාංශය මගින් මාධ්‍යයට නිල වශයෙන් තොරතුරුත් නිකුත් කෙරෙනි.

අනතුරුව ඇමතිවරයා විටින් විට සඳහන් කෙළේ කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අදාල විමර්ශනය සිදුකරන බවය. ඊයේ (04) දෙරණ 360 වැඩසටහනට ද එක්වූ අමාත්‍යවරයා විමර්ශන හොඳින් කෙරෙන බව රටට කීවේය.

එහෙත් රහස් පොලිසියෙන් හෝ වෙනත් කිසිදු පොලිස් ඒකකයකින් රාජ්‍ය අමාත්‍යවරයාගේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදු වන්නේ නැතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

“ අඩුම තරමින් පොලීසිය හිර ගෙදරට ගිහින් සිරකරුවන්ගෙන් හෝ නිලධාරින්ගෙන් කිසිදු ප්‍රකාශයක් මේ වනතුරු අරගෙන නෑ. රාජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නෑ, එහෙම කරන්න මේ වනතුරුත් විධිමත් පැමිණිල්ලක් නෑ. පොලිසියෙ ස්ථාවරය වී තිබෙන්නෙ බන්ධනාගාරය ඇතුළෙ සිදුවුන  ඒ සිදුවීම පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ගෙන් හෝ වින්දිත සිරකරුවන්ගෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති නිසා විමර්ශන ආරම්භ කරන්න බැරි බවයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.

 

Exit mobile version