ඇමට දාන්න හදපු ලක්ෂ විසිපහේ කෘත්‍රිම දැල්ලාට මාළු බයයි ලු…

ඇමට දැම්මම මාළු පැත්තක එන්නෙ  නැති “නාරා“ ඇම දැල්ලාගේ පැටිකිරිය විගණනයෙන් හෙළි වේ

 ලලිත් චාමින්ද –

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය ( NARA) විසින්  පුද්ගලික සමාගමක් හරහා රුපියල් ලක්ෂ 25ක මුදලක් වැයකොට  නිෂ්පාදනය කරනු ලැබු කෘතිම ඇම දැල්ලන් වෙතට මසුන් ආකර්ශනය නොවිම හේතුවෙන්  රජය වැයකළ එම මුදල අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

පුද්ගලික සමාගමක් විසින්  කෘතිම ඇම දැල්ලන් නිෂ්පාදනය පිළිබද ව්‍යාපෘති යෝජනාවක් පදනම්කරගෙන  එය ක්‍රියාත්මක කිරීම සඳහා  අමාත්‍යංශය  විසින් 2018 10.03 වැනිදින ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය( NARA) වෙත රුපියල් ලක්ෂ 25ක මුදලක් ගෙවා තිබුණි. 

එම ගෙවිම සඳහා අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය  ලබාගෙන නොතිබු බව විගණන වාර්තාවේ දැක්වේ. 


නාරා ආයතනය  විසින්   රජයේ ප්‍රසම්පාදන හා මාර්ගෝපදේශවලට පටහැනිව  කටයුතු කරමින් කෘතිම ඇම දැල්ලන් 1500ක් නිෂ්පාදනය කොටභාරදිමේ කොන්ත්‍රාත්තුව  පුද්ගලික සමාගමක් වෙත ලබා දි තිබුණි.

2018 වර්ෂයේ 10 වැනිමස 16 වැනිදින  එම මුළු මුදලම අදාල සමාගම වෙත ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. අදාල භාණ්ඩ එකඟවි තිබුණු  පිරිවිතරවලට හා  ප්‍රමාණයට සපයා නොතිබුණි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය ( NARA) සිදුකළ පර්යේෂණ මත පදනම්ව 2019 අගෝස්තු 30වැනිදින  නිකුත්කර තිබු පර්යේෂණ වාර්තාවේ  නිගමනය අනුව කෘතිම ඇම දැල්ලන් වෙතට මසුන් ආකර්ශනය නොවිම හේතුවෙන්  රජය වැයකළ එම මුදල අපතේ ගොස් ඇති බවද විගණනයේ දි අනාවරණය වි ඇත.

Exit mobile version