ඇත්තටම කැලෑ කැපෙන දවසට කාටත් කලින් විරුද්ධ වෙන්නේ මං අමාත්‍ය වීරවංශ කියයි

ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් ඊට විරුද්ධ වන්නේ මෙරට සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින තමන් බවත් 2015ට පෙර ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියමින් ගොඩනැගූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර දැන් ආරම්භ වී ඇති බවත් ඒ මෙහෙයුමෙහි නිරත අමුතුම පරිසරවේදියෝ පිරිසක් ‘මෙන්න කැලෑ කපනෝ’ කියමින් අද විලාප දෙමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි. .

ඊයේ (20) අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ‘දැයට එළිය’ තේමාව යටතේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ සංවර්ධන කටයුතු සිදු කරමින්, නව වගා බිම් අස්වැද්දීමට ජනතාව පොළඹවමින් ඉදිරියට යනකොට සමාජ මාධ්‍යවල ‘පිටරටවල කැලෑ කැපූ ඡායාරූප’ පවා යොදාගෙන ‘මෙන්න සිංහරාජය කපනෝ’ කියා කෑගහන අමුතුම පරිසරවේදියෝ ටිකක් දැන් බිහිව තිබෙනවා. එදා රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපන විට, පසුගිය ආණ්ඩුව කුඹුරු, තෙත් බිම් ගොඩ කරන විට හිටපු නැති පිරිසක් දැන් අතිශයෝක්තියෙන් කටයුතු කරන මහා පරිසරවේදියෝ බවට පත්වෙලා තිබෙනවා. 2015ට කලින් ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියලා අතිශයෝක්තියෙන් ගොඩනඟපු පච අවලාද මෙහෙයුමේ දෙවන අදියර තමයි දැන් ‘මෙන්න කැලෑ කපනෝ – මෙන්න සිංහරාජෙ කපනෝ’ කියමින් ආරම්භ කර තිබෙන්නේ.

මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් අපි බැඳී සිටිනවා. රැම්සා තෙත්බිම විනාශ කරන්න හදන විට පසුගියදා පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ අපයි. ඇත්තටම කැලෑ කපනවා නම් ඊට කාටත් කලින් අපි විරුද්ධ වෙනවා. මේ කෑගහන අය කරන්නේ පරිසරය ආරක්ෂා කිරීම නොවෙයි. පරිසරය හා සංවර්ධනය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාමේ අභියෝගය තමයි අප ඉදිරියේ පවතින්නේ. දැන් මේ අයට පෙනෙනවා ‘රටේ සංවර්ධනයක් වෙනවා. ඒක අපි අඩාල කරන්න ඕනේ. අඩාල කරන්න නම් කැලෑ කපනෝ, කියමින් විලාප දෙන්න ඕනේ.’ කියලා. සමහර රූපවාහිනී නාලිකා තිබෙනවා, හැමදාම කුමන හෝ කැලෑවක් කපනවා කියා බොරුවක් පෙන්වන. වනාන්තරයක් කියන්නේ වන සංරක්ෂණ හෝ වෙනත් කුමන හෝ නීතියක් මගින් ගැසට් කර තිබෙන එකක්. පෞද්ගලික ඉඩමක, වගා බිමක ගස් කිහිපයක් තිබිලා ඒක කැපීම, කැලෑවක් කැපීමක් නොවෙයි. නිදසුනක් ලෙස මේ රටේ පරිපාලන නගරය වූ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ විශාල භූමිභාගයක් කොහොඹ ශාකය වැවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් වෙන් කර දීම පෙන්වා දීමට පුළුවන්.
‘මේ අවලාදවලට නොරැවටෙමින් රටත් ආර්ථිකයත් බලගන්වමින් වැරදි නිවැරදි කර ගනිමින් අපේ ගමන යමු. මේ රට දියුණු රාජ්‍යයක් බවට පත් කෙරුමට කැපවෙමු!’ කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.


Exit mobile version