ආචාර්ය හර්ෂ ආයෝජන මණ්ඩල ලොක්කන් පතුරු ගසයි ! අද පාර්ලිමේන්තු දාන ලියවිල්ලකට අනුමැතිය දෙන්නත් බෑ කියයි

වසර 12ක බදු සහනයක් ලබා දී යෝජනා කර තිබූ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අදාල නිසි විශ්ලේෂණ ආයෝජන මණ්ඩලය විසින් ලබා නොදීම හේතුවෙන් අද (04)  පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ලබා නොදීමට තීරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා ගෙ සභාපතිත්වයෙන් ඊයේ  (03) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

අද (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ‍මෙසේ හිමි නොවිණි . මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන මෙම ගැසට් පත්‍රයේ සදහන් මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12ක බදු සහන ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයෙන් විමසා සිටියේය. එහිදී ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් ආයෝජන මණ්ඩල සභාපති රාජා එදිරිසූරිය ඇ.ුලු නිලධාරීන් ට සිය බලවත් අප්‍රසාදය පළ කමිටු සභාපතිවරයා ඒ අනුව මේ මොහොතේ ඊට අනුමතිය ලබා දිය නොහැකි බවත් පැවසීය.

ඔහු එහිදී සඳහන් කළේ කිසිදු විශ්ලේෂණයක් නොමැතිව කිසිදු අවබෝධයකින් තොරව ආයෝජන මණ්ඩලය වැනි ආයතන ක්‍රියා කිරීම නිසා රටේ ආර්ථිකය අද පවතින ඛේදනීය තත්ත්වයට වැටී ඇති බවය. තවදුරටත් රටට මෙවැනි තත්ත්වයන්ට පත්විමට ඉඩ නොදිය යුතු බව එහිදී අවධාණය කළ ආචාර්ය හර්ෂ ද සිල්වා රටට විදේශ ආයෝජන ගෙන එන ආයතනයේ නිලධාරීන් රජයේ ප්‍රතිපත්ති සහ බදු ක්‍රම පිළිබඳව අවබෝධයකින් තොරව ක්‍රියා කිරීම පිළිබඳව දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.  මෙම බදු සහනය සම්බන්ධයෙන් හෝ මෙම සමාගම් සම්බන්ධයෙන් තමන් ඇතුළු කාරක සභාවට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පාර්ලිමේන්තු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙවැනි තීරණ ගන්නා විට එහි ආර්ථික බලපෑම පිළිබද දත්ත තොරතුරු ඇතුළත් විධිමත් විශ්ලේෂණයක් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව හෙට පෙ.ව 9.00 පමණ වන විට සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැන්වූ කාරක සභා සභාපතිවරයා එහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිනම් අදාළ ගැසට් පත්රයට අනුමතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද පැවසීය. මේ අතර හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයට සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සඳහන් නියමයන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version