අවුරුදු හතක් තිස්සේ රටේ හාල් ඇටයක ආරක්ෂිත ආහාර සංචිතයක් නෑ…

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව “බුල් කෙළින හැටි“ විගණනයෙන් හෙළි වේ…

Brand New Storehouse,cargo

ලලිත් චාමින්ද –

වසරකට  මෙට්‍රික්ටොන් ලක්ෂයක් වු ආරක්ෂිත සහල්තොග සංචිතයක් පවත්වාගෙන යාම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වුවද දෙපාර්තමේන්තුව සතු කිසිදු ආරක්ෂිත සහල් තොගයක්  2012 වර්ෂයේ සිට 2019. 12.31 වැනිදින දක්වා කාලය තුළ දෙපාර්තමේන්තු ගබඩාවල පවත්වාගෙන ගොස් නොතිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාමේ අරමුණින් දිවයින පුරා ගබඩා  120ක් ඇතුළු විද්‍යාත්මක ගබඩා 06ක් නවිකරණය කොට තිබුණි. විද්‍යාත්මක  ගබඩා නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඇගයිම සඳහා පමණක් 2012 වර්ෂයේ  සහල්  මෙට්‍රික්ටොන් හය ලක්ෂ හැට එක් දහස් පන්සිය හැට හතක් ( 6,61,567) ක් ගබඩාකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

විද්‍යාත්මක  ගබඩා නවිකරණය කිරීම සදහා වැය කළ රුපියල් විසිනව කෝටි, විසිතුන් ලක්ෂ එකොළොස් දහස් නවසිය හතලිස් පහක් ( 29,23,11,945)ක්වු   රජයේ ප්‍රතිපාදන වලින්  නිසි ප්‍රතිලාභ මහජනතාවට  ලබා දීමට නොහැකිවු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ආරක්ෂිත සහල්තොග නොපැවතීම නිසා වෙළඳපොළ තුළ සහල් හිඟව පවතින කාලවලදි වෙළඳපොළ තුළ සහල් සුලභතාවය ඇතිකරගැනීම සඳහා වෙළඳපොළට සහල් නිකුත් කිරීමට නොහැකිවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.


කෙසේවුවද 2014 වර්ෂයේ දි  සමුපාකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව සහල් මෙට්‍රික්ටොන් 4267.93ක් ද , ලංකා සතොස ආයතනයේ සහල් තොගයක්ද ,2017 වර්ෂයේ දී  සමුපාකාර තොග වෙළද සංස්ථාව සතු සහල් මෙට්‍රික්ටොන් 13054 විද්‍යාත්මක ගබඩාවල ගබඩාකොට තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ. මේ හේතුවෙන් දේපාර්තමේන්තුවේ අරමුණු ඉටුකරගැනිම වෙනුවට  රාජ්‍ය හා පුද්ගලික ආයතනවල අරමුණු ඉටුකරදිම වෙනුවෙන් කටයුතු කිරිමට සිදුවි තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම දෙපාර්තමෙන්තුවේ ගබඩාවල කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ළඟාකරගැනීමට  නොහැකිවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.. කුලී පදනම මත ලබා දී තිබු ගබඩාවලින්ද   ගබඩා කුලී නියමිත පරිදි අයකර නොගැනිම නිසා ගබඩා කුලි ආදායම අඩුවි තිබුණි.

ආරක්ෂිත සහල් තොග ගබඩාවල නොපැවතීම හේතුවෙන් ගබඩා ධාරිතාවය උපරිම ප්‍රයෝජනයට  ගෙන නොතිබු අතර  ගබඩා නිෂ්ක්‍රිය පැවතිම, වේයන්ගොඩ පරිශ්‍රයේ යටිතල පහසුකම් ප්‍රයෝජනයට නොගැනිම, අධික මාසික විදුලි පිරිවැයක් දැරිමට සිදුවිම, රසායනාගාර නිෂ්ක්‍රිය පැවතිම ගැනද විගණන වාර්තාවේ දැක්වේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තත්ව පාලන නිලධාරි හා ධාන්‍ය සමික්ෂක තනතුරු සඳහා ප්‍රමාණවත් කාර්යභාරයක් නොපැවතිම ආදිය ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කුලී පදනම මත ලබා දි ඇති දෙපාර්තමේන්තු සතු ගබඩා වලින් 2019.12.31 වැනි දිනට  රුපියල් 111,161,637ක් අයවීමට පැවති අතර  එම හිගකුලි අයකරගැනීම  සම්බන්ධව  ප්‍රමාණවත් ක්‍රියාමාර්ග  ගැනීමට දෙපාර්තමේන්තුව  අපොහොසත්ව තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

Exit mobile version