අවදානමට මුහුණ දෙන්න රාජ්‍ය ඇමති සුදර්ශනී තීරණ කිහිපයක් ගනී

අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ්-19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීම නිසා ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස් කිරීම කෙරෙහි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය යොමුව තිබේ.

නව කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යයි.

එ බැවින් ඒ සදහා අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම සදහා කටයුතු කිරීමත්, අදාල සැපයුම් ආයතන සමග සාකච්ඡා කොට හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබදවද තක්සේරුවක් සිදුකිරීමට අවධානය යොමුව තිබේ.


කොවිඩ් වෙනුවෙන් වෙන්වු රෝහල් සදහා ජම්බෝ සිලින්ඩර් ලබාදීම සදහා සාකච්ඡා කර ඇත.

ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සදහා High Dependency Unit (HDUs) ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති අතර ඒ සදහා High Flow machines සවිකිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරික්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීම කෙරෙහිද සාකච්ඡා වූ අතර ඒ සදහා වතුපිටිවල රෝහලේ නව PCR යන්ත්‍රයක් සවිකිරීම කෙරෙහි අවධානය යොමුවිය.

රෝගීන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමග රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බර අවම කිරීම සදහා අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ඇතිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ඒවා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇති කිරීමට මෙන්ම ඇදන් ධාරිතාව 200කට වැඩි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට සාකච්ඡා වූ අතර ඒ සදහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම කෙරෙහි අවධානය යොමුවිය.

දැනටමත් ආයතන කිහිපයක ගොඩනැගිලි මේ සදහා ලබාදීමට කැමැත්ත පලකර ඇති බව සදහන් වූ අතර ඒ සදහා අවශ්‍ය ඇදන්, ලොකර්ස් සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීම කෙරෙහි අවධානය යොමුවිය.

කොවිඩ් මර්දනයේදී පැනනගින වාහන අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස්කිරීම කෙරෙහි සාකච්ඡා කරන ලදි.

විශේෂයෙන් කොරෝනා මර්දනයේදී සුවසැරිය කාර්ය භාරය පිළිබදවද සාකච්ඡාවූ අතර ග්‍රාමීය ප්‍රදේශවල සුවසැරිය ගිලන්රථ සේවාව ඉටුකිරීම සදහා අතිරේක ගිලන් රථ ලබාගැනීම කෙරෙහි සාකච්ඡා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් අන්වර් හම්ඩානි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

Exit mobile version