අලුත බැඳපු තරුණ වෘත්තිකයන්ට කොළඹින්, ගම්පහින්, මහනුවරින් අලුත් නිවාස

අලුතින් විවාහ වූ සහ තරුණ වෘත්තිකයන් ඇතුළුව මැදි ආදායම් ලබන පවුල් සඳහා මහල් නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර ගත් බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, මහජන සනීපා රක්ෂාව සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ලංකාසරට පැවසීය.

මෙම නිවාස ලබා ගැනීමේ අවස්ථාව අලුතින් විවාහ වූ තරුණ වෘත්තිකයන් හට වැඩි අවස්ථාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවත් ඊට අදාළ නිර්ණායක මේ වන විට සකස් කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

මෙම නිවාස 3000 ක් පළමු අදියරේ දී ඉදි කෙරෙන අතර ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර, බොරලැස්ගමුව යන ප්‍රදේශවලත් පෑලියගොඩ සහ මහනුවර, ගැටඹේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.


මේ වන විට තරුණ වෘත්තිකයන් මහල් නිවාස, කුඩා නිවාස ඒකකවල පදිංචිය පිළිබඳ වැඩි කැමැත්තක් දකවන අතර ඔවුන්ගේ රාජකාරි කටයුතු සේවා ස්ථාන ආදියට පිවිසීමට පහසු වන ආකාරයට සහ ඔවුන්ගේ විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු ඇතුළු එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පහසුකම් සහිතව මෙම නිවාස ව්‍යාපෘති ඉදි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

පළමු අදියරේ දී ඉදිකරන නිවාස 3000 මාදිලි දෙකකින් යුක්තව ඉදිකිරීමට නියමිතය.

එයින් එක් මාදිලියක් වර්ග අඩි 700 කින් යුතු නිදන කාමර දෙකක් සහිත නිවාස ඒකක වන අතර අනෙක් මාදිලිය නිදන කාමර තුනක් සහිත වර්ග අඩි 900ක නිවාස ඒකකයක් වේ.

මුලික අදියරේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 40ක් වැය වන බවට ගණන් බලා ඇති අතර මෙම නිවාස ඉදිකිරිමේ කොන්ත්‍රාත්තු මේ වනවිට දේශීය සමාගම් කීපයක් සමග එකඟතාවකට පැමිණ ගිවිසුම් අත්සන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මාගා, ඇක්සස්, සන්කෙන්, නවලෝක, තුඩාවේ සහෝදරයෝ, අයිසීසී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි සහ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම්වලට ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇත.

Exit mobile version