අලුත්කඩේ ගොබ්බ කොත්තුවාට ඇප ලැබුණු පසු….

ඊයේ (16) කෙසෙල්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කළ ගොබ්බ කොත්තුවාට ඇප ලැබී තිබේ.  ස්ට්‍රීට් ෆුඩ් බෝඩ් එක යටතේ කඩයක් කරන මේ ගොබ්බයා  රාත්‍රි ආහාරය ලබා ගැනීමට පැමිණි විදේශිකයෙකුට රුපියල් 1900කට කොත්තුවක් විකුණන්න හැදුවේය.

එය මිල වැඩි බව ප්‍රකාශ කර සැබෑ මිල ගණන් කීයදැයි කඩයේ සිටි පුද්ගලයින්ගෙන් ඇසූ ඔහුට මේ මීහරකා බැණ වැදුනේය. ගහන්න ගියේය. ඇඟට අත තබා තල්ලු කර අඩන්තේට්ටම් කළේය. පළවා හැරියේය. රටේ රෙදි ලෙෆ්ට් විය. මක්නිසාද යත්  Emeka Iwueze නැමැති මෙම විදේශිකයා ඒ අවස්ථාවේත්  සිටියේ රටේ සමාජ ස්වරූපය සම්බන්ධ වීඩියෝවක් සකස් කිරීම සඳහා සජීවී දර්ශන පටිගත කරමිනි. යළිත්  ඔබ මේ දකින්නේ  රට නිරුවත් කළ ඒ දර්ශන පෙළය.

අලුත් කඩේ  කොත්තුවාගේ නල්ලමලේ චන්ඩිකමේ ස්වරූපය මුලුමනින්ම වීඩියෝවේ පටිගත වී තිබිණි.  මේ තැනින් තැන එළිවන්නේ මේ රටට පැමිණෙන  විදේශිකයෙකුට සමාජය සලකන ආකාරය ය.  මේ නින්දිත කුපාඩිකම් සහ සූරාකෑම් බරපතල ලෙස සිදුවන්නේ ත්‍රී විල් මාෆියාවෙනි.  විදේශිකයෙකුට අන්තර්ජාලය හරහා කැබ් රථයක් ගෙන්වා ගත නොහැකි තරමට මේ පාදඩ හයිරන්කාරකම සංචාරක ප්‍රදේශවල පවතින්නේය.

දෛනිකව විදේශිකයන් වංචා කිරීම් පිළිබඳව කොල්ලකෑම පිළිබඳ පැමිණිලි ලැබෙන්නේදැයි කල්පනා කළහොත් මේ රටට විදේශිකයෙක් එනවා කියන්නේම පුදුමයකි.


විදේශිකයෙක් නම් ඌ මරාගෙන කෑ යුතුය යන සමාජ ආකල්පය සමග මේ රටේ සංචාරක ව්‍යාපාරය හරහා ආර්ථික සමාජය දියුණු කිරීමේ උපාය කෙසේ ප්‍රායෝගික කළ හැකිදැයි අපට නම් වැටහෙන්නේ නැත. මේ කතාව අපට වඩා හොඳට නිර්මාණාත්මකව බෙල්ජියම් ජාතික සංචාරකයෙක් කළුතර “බෞද්ධ වඩේ මුදලාලිගේ “ කුපාඩිකම ඔස්සේ රටට පෙන්වා දුන්නේය. මේ කතාව ඔබට හොඳට මතකය.

අවංක කම පිළිබඳ සහිතක විය හැකි ආරක්ෂාව පිළිබඳ සහතික විය හැකි පරිසරයක් සහිත සමාජ වටපිටාවක මිස සංචාරක ව්‍යාපාරය වැනි මානව බද්ධ කර්මාන්තයක් ඵල දරන්නේ  නැත.  එමෙන්ම තමන් ආර්ථික වශයෙන් මූලෝපාය ලෙස තෝරා ගන්නා මාධ්‍යය නීතිමය රාමුවක් තුළ දැඩි ලෙස ශක්තිමත් නොකරනතාක්කල් එහි සැබෑ ඵල සමාජයට ලැබෙන්නේත් නැත.

මේ වනවිට දකුණේ සංචාරක ව්‍යාපාරය කරන ඇතැම් ප්‍රධාන චරිත පාතාලයේ දහදුරා අපතයන්ය. ත්‍රීවිල් ඇතුළු ප්‍රවාහනය සමග ගනුදෙනු කරන බොහෝ දෙනා මේ පාතාලයන්ගේ සිල්ලර ගුඩ්ඩන්ය.  එවැනි වටපිටාවක සංචාරකයින්ට වෙන අපරාධ පිළිබඳව නඩුත් නැත. උන්ගේ බැලයන්වන ප්‍රාදේශීය පොලිසිවලට ඒ නඩු පවසාත් තේරුමක් නැත.

එවන් පරිසරයක ඊයේ පෙරේදා තමන් අත්විඳන අපරාධ විදේශිකයන් විසින්ම මේ ලෙස පත්තු කර පෙන්නූ එක කදිමය. අලුත්කඩේ කොත්තුවා රිමාන්ඩ් වීම සහ අධිකරණය විසින් පවතින නීතිය යටතේ  ක්‍රියාත්මක වීම අපට විශේෂ වැදගත් කමක් සහිත ප්‍රවේශයක් හදන්නේ එබැවිනි.

අධිකරණය ඔහුව රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරියේය.   අත්අඩංගුවට ගෙන තිබුණේ  51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශිකයන් විෂයෙහි ඕනෑම ආකාරයක නින්දා සහගත හැසිරීම් ප්‍රකට  කරන උන්, විදේශිකයන් කොල්ලකන අපරාධ කරුවන් පිළිබඳව නව නීති සම්පාදනය කිරීමේ වැදගත්කම රටක් ලෙස අවධාරණය කර ගත යුතුය. මක් නිසාද යත් මුලින් කී ආකාරයට රටේ ප්‍රධාන විනිමය උපයන මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය තෝරා ගත් රටක් තම රටට එන සංචාරකයන් විෂයෙහි මීට වඩා වගකීමක් දැරිය යුතු බැවිනි.

සංචාරක කර්මාන්තයේ ඵලය සමාජයට ලැබෙන්නේ සංචාරකයෙක් එළියට බැස සාමාන්‍ය වෙළෙඳසලකින් ප්ලේන්ටියක්වත් බිව්වොත් පමණක් බවටත් තාරාවියගේ බඩ පලා එක්වර රන් බිජු රැස් කරගැනීමට සිතූ මුග්ධයින් සේ හැසිරීම නොකළ යුතු බවටත් වූ සමාජාවබෝධය නෛතික රාමුවක් හරහාවත් සමාජයට ලබා දිය යුතු බැවිනි.

ආර්ථික පදනම නිර්මාණය කරන සම්පත් නෛතික රාමුවකින් ආරක්ෂා කළ ආකාරය සම්බන්ධව ඉතිහාස අත්දැකීම් තිබේ. ලන්දේසින් පහත රට පාලනය කරන වකවානුවේ දී රටේ ප්‍රධාන ආර්ථික සම්පත වූයේ කුරුඳු වගාවය. එකල්හි කුරුඳු වගාව රැක ගැනීම සඳහා ලන්දේසීන් දැඩි නෛතික රාමුවක් සකස් කර තිබිණි. කුරුඳු ගසක් විනාශ කිරීම මිනිහෙක් මරා දැමීමට සමාන වරදක්කොට ලන්දේසි අධිකරණය විසින් සැලකුවේය. එසේ සලකා දඬුවම් ලබා දුන්නේය. ලන්දේසීහු ආර්ථික ලෙස ශක්තිමත් වූහ.

කාලීනව සමාලෝචනය කළ යුතු  නෛතික රාමුවක් නොමැතිව “සෝලෝ ට්‍රැවලර්ස්ලාගේ හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව” “ තනියම කාන්තාවකට ගමන් කළ හැකි හොඳම රට ලංකාව” වැනි ගොබ්බ ස්ලෝගන් ප්‍රමෝට් කර වැඩක් නැත.

එක තනි විදේශිකයෙකුට මේ රටේ ඇති කාලකන්ණි ගෝත්‍රික සමාජය එක තත්පරයකින් වීඩියෝ පටයක් හරහා ලෝකයට ප්‍රකාශ කළ හැකි බැවැනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනටමත් එය ප්‍රකාශ කර හමාර බැවිනි.

 

Exit mobile version