අරලගංවිල ගොවීහු මාදුරුඔයේ වැලි  ජාවාරම්මු පළවා හරිති…

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව 503 කලාපයට අයත් මාදුරුඔයෙ බලපත්‍ර නීති උල්ලංඝණය කරමින්, ප්‍රදේශයේ අලි වැටට සහ  වාරිමාර්ග  පද්ධතීන්ට හානි සිදුවන අයුරින් වැලි ගොඩ දමමින් සිටි පිරිසකට හා ට්‍රැක්ටර්  හිමිකරුවන්ට විරෝධය පා ඔවුන් ඉන් පලවා හැර, වැලි ප්‍රවාහනය කරන මාර්ග දෙකක් වසා ද දැමීමට කලාපයේ ගොවි සංවිධාන පහක   ගොවි පිරිසක් අද (05) දහවල් කටයුතු කළහ.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා ගොවි සංවිධාන පහක සභාපතිවරු සහ සියයකට අධික ගොවි පිරිසක් එක් වී සිටියහ.


අලිවැට කඩා පාර හදා ඇති අයුරු…

අරලගංවිල 503 කලාපයේ ගොවි පවුල් 1100ක්  අක්කර 3000 කට ආසන්න භූමියක  යල මහ දෙකන්නයේ වී වගා කරති.   මෙම වැලි ගොඩ දැමීමේ හේතුවෙන් අලි වැටට  මෙන්ම වාරිමාර්ග  පද්ධතියට දැඩි හානි සිදුවී  තිබිණි.

වැලි කනින පිරිස් පලවා හල ගොවීහු  වැලි  ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ග  දෙකට ලී කොට දමා යකඩ  දම් වැලක් ද ගෙනැවිත් ඉබි යතුරු දැමීමට   කටයුතු කළහ.

ඒ සමගම වැලි ගොඩ දමන කම්කරුවන් හා ගොවීන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූයේය. අවසානයේ දී කම්කරුවන් සියයකට ආසන්න පරිසක් ට්‍රැක්ටර දහයකින් ප්‍රදේශයෙන් පිටත් වී ගියේය.

ගොවීන් පැවසුවේ මෙම විරෝධතාවය දැක්වූයේ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන නිසා බවය. ඉදිරියේ දී ඇතිවන වර්ෂාත් සමග මාදුරුඔය පිටාර   බැලුවහොත්  තම කුඹුරු බිම්    විනාශ වන බව එම ගොවි සංවිධානවල නියෝජිතයෝ කීහ.

“මාදුරුඔයේ වැලි ගොඩ දාන්න භූ විද්‍ය හා පතල් කැණීම්   කාර්යාංශයෙනුයි,  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙනුයි වැලි පොලවල් ලබාදී තිබෙන්නෙ  පොළොන්නරුවේ ඇතැම් ප්‍රාදේශීය   දේශපාලකයින්ටත්, රාජ්‍ය නිලධාරීන්ටත් විතරයි. ඔවුන් නීතිය අතට අරන් මේ වැඩ කරනවා.  දැන් අපි ඔවුන්ට කියන්නෙ ඇවිත් මේ විනාශය බලන්න. බලලා නීත්‍යානුකූල විදිහට වැඩ කරන්න පරිසරයටත් අපේ ජීවිත වෘත්තියටත් හානි නොකර. මේ විදිහට නම් මේ වැලි ගොඩදැමීම කරන්න දෙන්නෙ නෑ“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගොවි සංවිධානවල නියෝජිතවරු ලංකාසරට කීහ.

 

 

 

Exit mobile version