ශ්‍රි ලංකාවට සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන සහ එවැනි ආයෝජනවල පහසුකම් ලබා දීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සිය දශක හතරක කාලය තුළ මෙරටට ගෙන ඒමට සමත්ව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක ආයෝජන පමණක් බව අනාවරණය වේ. ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධ පාර්ලිමේන්තු කාරක සභාව වාර්තාවක් උපුටා දක්වන ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන ආකාරයට බදු සහන, අයෝජකයන්ට විවිධ වරප්‍රසාද සහන ලබා දීමට කටයුතු කළත් නිසි සැලසුමක් හෝ ඉලක්කයක් නැති අවිධිමත් වැඩපිළිවෙළ හේතුවෙන් මෙම ආයතනයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව එයින් පෙනී යයි.
ශ්‍රි ලංකාව තවමත් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක අපයනය ආදායමක් ලබා ගත නොහැකිව සිටින තත්ත්වයක් තුළ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය මේ අයුරින් අසාර්ථක වීම සම්බන්ධයෙන් බොහෝ ලෙසින් විමසා බැලිය යුතු තත්ත්වයක් බවට පත්ව ඇත. මෙම සෘජු විදේශ ආයෝජන සැලකීමේදී වසර 40ක් තුළ අපේ රට ආකර්ෂණය කර ඇති ආයෝජන ප්‍රමාණයේ එකතුව පසුගියදා ලෝකයේම අවධානය යොමු කරමින් ලෝකයේ මුල් පෙළේ හිඳින බිලියනපතියකු වන එලොන් මස්ක් ට්විටර් සමාගම මිලයට ගත් මුදලට හරි අඩකටත් වඩා අඩු වේ. එනම් මස්ක් මෙම සමාගම මිලයට ගත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 44කටය. 2000 වසරේදී තරුණයකු ලෙස ව්‍යාපාරවලට අතගැසූ එලොන් මස්ක් වසර 22ක් තුළ ගොඩ නගාගෙන ඇති සම්පූර්ණ වත්කම ප්‍රමාණය ඩොලර් බිලියන 188කි. එය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වසර 40ක් තුල මෙරටට ගෙනා ආයෝජන වටිනාකම මෙන් නව ගුණයකට වැඩිය. ආයෝජන මණ්ඩලය මෙරට විධායක ජනාධිපතිවරුන් අට දෙනකු යටතේ පාලනය වී ඇති අතර මේ ආයතනයේ නඩත්තුව සහ ඉහළ පෙලේ නිලධාරීන් සහ මිලියන ගණනක මුදල් මේ වනවිට වැය කොට ඇත.
ආයෝජන මණ්ඩලය සිය විදේශ ආයෝජන ගණන් හිලව් එකතු කිරීමේදී අලුත් ආයෝජන පමණක් ගණන් ගැනීම වෙනුවට දැනට පවතින සමාගම් ලබා ගන්නා විදේශ ණයද සිය ආයෝජන කුලකයට ඇතුළත් කිරිම ප්‍රශ්නයක් බව සඳහන් වේ. මෙම වසරේ ආයෝජන මණ්ඩලය ඉලක්ක කරන සම්පූර්ණ ආයෝජන වටිනාකම ඩොලර් බිලියනයක් වන අතර මෙතෙක් වසරේ මුල් මාස නවය තුළ ඔවුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 713ක ආයෝජන ආකර්ෂනය කර ගැනීමට සමත්ව ඇති බව සඳහන් වේ.
මෙරට නම් දැරූ ව්‍යාපාර නායකයින් වන තිලාන් විජේසිංහ, සුනිල් මෙන්ඩිස් , සුනිල් ජී විජේසිංහ, මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල, ධම්මික පෙරේරා, අර්ජුන මහේන්ද්‍රන්, මංගල යාපා වැනි පුද්ගලයෝද මෙහි මුල් පුටුව හෙබවූහ.