අම්පිටිය මී කණුව ප්‍රදේශයේ දි පාසල් දරුවෙකුට ගිනි තැබීමේ අපරාධයට රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් පලා ගිය අපරාධකරු දින 21කට පසු අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
තැන්නේකුඹුරේ පදිංචි මලීත් නිසංසල සංජීව නොහොත් පැතුම් යන නමින් හඳුන්වනු ලබන මෙම අපරාධකරු මුළු පලාතක්ම බිය කරගෙන සිටි මැරයෙක් කොල්ලකරුවෙක් මෙන්ම කප්පම්කරුවෙක් ලෙස කටයුතු කළ කුප්‍රකට චරිතයක් විය.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටියේ වර්ෂ 2022 නොවැම්බර් මස 22 දින දී අම්පිටිය මීකණුව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුගේ ශරීරයට පෙට්‍රල් දමා ගිනි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ඔහුව පල්ලෙකැලේ උඩුදුම්බර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය දී ඇති වූ රොගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 5 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.
සැකකරු බන්ධනාගාරයෙන් පළා ගොස් සිටි කාලය තුළදී අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කාන්තාවකගේ ඇස් වලට මිරිස් කුඩු ගසා රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා පවුම් දෙකක් බරැති මාලයක් කොල්ල කෑම ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇතැයි ද පොලිසිය කීවේය.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලැබීය. සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ මරදාන ප්‍රදේශයේ දී ය.
සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී ය. පොලිස් අත් අඩංගුවේ දී ඔහු ව්‍යාජ පෙනී සිටි බව මරදාන පොලිසිය කියයි. කෙසේ වෙතත් එය හෙළි වී පුද්ගලයා සම්බන්ධව මහනුවර මූලස්ථාන පොලිසියට වාර්තා වීමත් සැකකරුගේ අනන්‍යතාවය සැක හැර තහවුරු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව බාරයට පත්කොට ඇත. මහනුවර සහ මරදාන පොලිසි ඒකාබද්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි