අභිනව පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද ඇරඹේ

 

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට විශේෂ කරුණු ගණනාවක් එක්කරමින් නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (20) පෙරවරු 09.30ට ආරම්භ වේ.

අද දින පළමුව සිදුකිරීමට නියමිතව තිබෙන්නේ නව වැනි පාර්ලිමේන්තුව සඳහා නව කථානායක පත්කර ගැනීමයි.

අනතුරුව නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු සඳහා නියෝජිතයින් පත්කරගැනේ.


පාර්ලිමේන්තුවට පිළිවෙලින් කතානයක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති යන තනතුරු සඳහා මහින්ද යාපා අබේවර්ධන, රංජිත් සියම්බලපිටිය සහ අංගජන් රාමනාදන් යන අයගේ නම් යෝජනා වී ඇත.

සභාවේ කටයුතු පස්වරු 3 දක්වා අත්හිටුවන අතර ඉන් පසු පාර්ලිමේන්තුව කල් තබා සවස 2.30 රාජාසන කතාව පවත්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද පස්වරු 3ට ඇරඹීමට නියමිත ය.

මැතිසබයේ සිටිය යුතු මන්ත්‍රීවරු 225 අතරින් මන්ත්‍රීවරු 223 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද පාර්ලිමේන්තු රැස්වනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මෙතෙක් නම් කර නොමැතිවීම ඊට හේතුවයි.

මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය නිදහසින් පසු පළමු වරට පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරීම විශේෂත්වයකි.

ඒ අනුව 1947 දී ඇරඹි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන්නේ වසර 73 කට පසුවය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව වැනි පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිධුර 145 ක් සමගින් බහුතර බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.

සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 54ක් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීධුර 10ක් ද, ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 3ක් ද, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රීධුර 2ක් ද, අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය මන්ත්‍රී ආසන 2ක් ද, තමිල් මක්කල් විඩුදලෛප් පුලිහල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය එක් මන්ත්‍රී ධුරය බැගින් හිමි වේ.

මෙවර තේරී පත්වූ ජනතා නියෝජිතයන් අතරින් 81 දෙනෙකු පමණ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයයි.

මෙවර පාර්ලිමේන්තුවේ සමස්ත තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය 11%කි.

නව වැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3%ක් ලෙස සටහන් වන්නේ මන්ත්‍රීවරියන් 12ක් දක්වා අඩුවීම නිසයි.

නව මැතිසබය නියෝජනය කරන ළාබාලම මන්ත්‍රිවරයා වන්නේ මෙවර අමාත්‍ය මණ්ඩලයේ සිටින ළාබාලම අමාත්‍යවරයා ද වන, වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාය. ඔහු 26 හැවිරිදි අයෙකි.

අද (20) පැවැත්වෙන මංගල රැස්වීමට බන්ධනාගාරයේ සිට පැමිණීමට නියමිත මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද වේ. එනම්, මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් ය.

කථානායක තෝරාගැනීමෙන් පසුව නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයා ඉදිරියේ සිය ප්‍රතිඥාව ලබා දීමට නියමිතය.

ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

එම උත්සවය සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇත.

අනතුරුව ඇරඹෙන පළමු සභාවාරයේ දී පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කිරීම සිදු කෙරෙයි.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර සඳහා නියෝජිතයෙකු නම් කිරීම ද අද සිදු කිරීමට නියමිතය.

පළමු සභාවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරි මාස 04 ට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමද අද(20) දිනයේදී සිදු කෙරේ.

 

Exit mobile version